ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස සැලකෙන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තැබූ මූලික රාජ්‍ය තාන්ත්‍රික පියවර අතිශය සාර්ථක වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි. සිය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින් කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සිට ඔහු මේ බව අනාවරණය කළේය.
මෙම සංචාරය තුළදී අත්කරගත් සුවිශේෂී ප්‍රගතියක් වන්නේ RCEP සංවිධානයේ ප්‍රමුඛ සාමාජික රටවල් දෙකක් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ශ්‍රී ලංකාව එම සංවිධානයට ඇතුළත් කර ගැනීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දීමට එකඟ වීමයි. ගෝලීය ජනගහනයෙන් තුනෙන් එකක් සහ ලෝක ආර්ථික නිපැයුම්වලින් විශාලතම පංගුව නියෝජනය කරන මෙම ගිවිසුම යටතේ ආසියා පැසිෆික් කලාපයේ රටවල් 15ක් අත්වැල් බැඳගෙන සිටියි. චීනය, ජපානය, දකුණු කොරියාව සහ ආසියාන් (ASEAN) කලාපයේ රටවල් 10ක් මෙහි සාමාජිකත්වය දරයි.
අමාත්‍ය විජිත හේරත් පෙන්වා දුන්නේ මෙම කලාපීය හවුල්කරුවන් සමඟ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීම ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන්මගට අතිශය තීරණාත්මක වන බවයි. මෙම සංචාරය හරහා ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් පදනම මේ වන විටත් සකස් කර අවසන් බව ඔහු විශ්වාසය පළ කළේය.
මීට අමතරව, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා තවත් වැදගත් තීන්දුවකට එළඹීමට දෙරටේ නායකයින් සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඍජු ගුවන් සබඳතා තවදුරටත් පුළුල් කිරීමට තීරණය වී තිබේ. එළඹෙන අගෝස්තු මාසයේ සිට දෙරට අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු රජය සිය අපේක්ෂාව පළ කර ඇති බවත්, එමඟින් සංචාරක ව්‍යාපාරයට මෙන්ම ව්‍යාපාරික සබඳතාවලට ද නව ප්‍රබෝධයක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.