මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන දැඩි මූල්‍ය විමර්ශන යටතේ, නීති විරෝධී ලෙස උපයා ගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනා දේපළක් ක්‍රියාවිරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.

විමර්ශනවලට අනුව, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇයගේ දෙවන විවාහක ස්වාමිපුරුෂයා විසින් මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබුණු මුදල් භාවිත කර මෙම වත්කම් උපයාගෙන ඇති බව තහවුරු වී ඇත. තොටළඟ ප්‍රදේශයේ පිහිටි පර්චස් 1.30ක සහ පර්චස් 0.75ක භූමි ප්‍රමාණයන්ගෙන් යුත් ඉඩම් දෙකක් සහ එහි ඉදිකර ඇති තෙමහල් නිවස මෙලෙස මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව රජයේ භාරයට ගෙන තිබේ.

අදාළ දේපළ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය මඟින් නිකුත් කර තිබූ ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කර ඇති අතර, ඒ අනුව අද (05) සිට දින 07ක කාලයක් සඳහා අදාළ නිවස සහ ඉඩම් සම්බන්ධයෙන් කිසිදු ගනුදෙනුවක් සිදුකිරීම තහනම් වේ. මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් රහසිගත වත්කම් පිළිබඳව ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ වන විට පුළුල් පරීක්ෂණ පවත්වමින් සිටියි.