පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සාලේ සියදිවි නසාගැනීමේ අවදානමකට මුහුණ පා සිටින බව ඔහුගේ නීතිඥයන් විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සුරේෂ් සාලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ප්‍රකාශ කර ඇත්තේ, තම සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටියදී වධහිංසාවට ලක්ව ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු දැඩි මානසික අවපීඩනය (Depression), කාංසාව (Anxiety) සහ පශ්චාත් ව්‍යසන ආතති අක්‍රමතාවයෙන් (PTSD) පෙළෙන බව අධිකරණ වෛද්‍ය වාර්තා මඟින් තහවුරු වී ඇති බවත්ය. මෙම තත්ත්වය මත ඔහු තමාටම හානි කරගැනීමේ හෝ සියදිවි නසාගැනීමේ දැඩි අවදානමක පසුවන බැවින් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් ඉවත් කර වෙනත් සුදුසු ස්ථානයක රඳවා ප්‍රතිකාර ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
කෙසේ වුවද, මෙම සියදිවි නසාගැනීමේ අවදානම පදනම් කරගනිමින් සැකකරුවෙකු මුදා හැරීමට හෝ වෙනත් ලිහිල් රැඳවුම් කොන්දේසි ලබා දීමට උත්සාහ කිරීමේ නීතිමය තර්කයෙහි බරපතළ පරස්පරතාවයක් පවතින බව දේශපාලන සහ විමර්ශන ක්ෂේත්‍රයන්හි විචාරකයෝ පෙන්වා දෙති. යම් පුද්ගලයෙකු සියදිවි නසාගැනීමේ බරපතළ අවදානමක පසුවන්නේ නම්, ඔහුගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා ගත හැකි හොඳම සහ ආරක්ෂිතම පියවර වන්නේ ඔහුව පොදු සමාජයට මුදා හැරීම හෝ ලිහිල් රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කිරීම නොවේ.
පොදු සමාජය තුළට මුදා හරිනු ලබන පුද්ගලයෙකුට සියදිවි නසාගැනීම සඳහා අවශ්‍ය වන ලණු, විෂ ද්‍රව්‍ය, ඖෂධ වර්ග හෝ උස් ස්ථාන වැනි මෙවලම්වලට ප්‍රවේශ වීමේ හැකියාව ඉතා පහසුවෙන් පවතී. එමෙන්ම, එවැනි මානසික මට්ටමක සිටින අයෙකු පැය 24 පුරාම සමීපව අධීක්ෂණය කිරීම ද පෞද්ගලික මට්ටමින් අසීරු විය හැකිය.
නමුත් රාජ්‍ය රැඳවුම් බාරයේ හෝ දැඩි ආරක්ෂිත විමර්ශන රැඳවුමක පසුවන පුද්ගලයෙකුට තමාටම හානිකර ගත හැකි කිසිදු ආයුධයක් හෝ මෙවලමක් ළඟ තබා ගැනීමට අවස්ථාවක් නොලැබෙන අතර, පැය 24 පුරාම ආරක්ෂක අංශවල සහ වෛද්‍ය නිලධාරීන්ගේ සෘජු නිරීක්ෂණයට ඔහු ලක්වේ. මේ අනුව බලන කල, සියදිවි නසාගැනීමේ අවදානමක් ඇති සැකකරුවෙකුගේ ජීවිතය රැකගැනීම සඳහා වඩාත්ම ආරක්ෂිතම පරිසරය නිර්මාණය වන්නේ දැඩි රාජ්‍ය අධීක්ෂණය සහ නිරීක්ෂණය පවතින රැඳවුම් භාරය තුළමය.
එබැවින්, සියදිවි නසාගැනීමේ අවදානමක් පෙන්වා දෙමින් සුරේෂ් සාලේ නිදහස් කරගැනීමට හෝ ලිහිල් රැඳවුම් කොන්දේසි ලබාගැනීමට නීතිඥයන් ඉදිරිපත් කරන තර්කය, සැකකරුගේ ජීවිතය ආරක්ෂා කරගැනීමේ සැබෑ අභිලාෂයෙන් ඉදිරිපත් කරන්නක්ද නැතහොත් එය විමර්ශන මගහැරීමට හෝ ඇප ලබාගැනීමට භාවිත කරන දේශපාලන හා නීතිමය උපක්‍රමයක්ද යන්න පිළිබඳව සමාජය තුළ දැඩි සැකසංකා මතු වී තිබේ.
මේ අතර, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ මෙම මානසික ඇදවැටීම සහ සියදිවි නසාගැනීමට සැරසෙන බව කියන තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල තුළද මේ වනවිට දැඩි කතාබහක් සහ විවාදයක් නිර්මාණය වී තිබේ. රටේ සංවේදීම ආරක්ෂක අංශයක ඉහළම තනතුරක් දැරූ පුද්ගලයෙකු මෙවැනි මානසික මට්ටමක පසුවීම සහ සියදිවි නසාගැනීමේ අවදානමක සිටින බව ප්‍රකාශ වීම පිළිබඳව විවිධ දේශපාලන මතයන්, විවේචන මෙන්ම උපහාසාත්මක අදහස්ද සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර වේගයෙන් සංසරණය වෙමින් පවතී.
සටහන | සචිත් ලියනගේ