ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්දන ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සැලකෙන 2007 වසරේ ජාතික රූපවාහිනී සංස්ථාවට කඩා වැදී මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබා දුන් සෘජු “කොන්ත්‍රාත්තුවක්” බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හෙළිදරව් කර තිබේ. ඔහු මේ බව අනාවරණය කළේ මව්බිම පුවත්පතේ මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ සමඟ කළ විශේෂ සාකච්ඡාවකදීය.

සිද්ධියේ පසුබිම සහ දේශපාලන පළිගැනීම
2007 දෙසැම්බර් 27 වැනිදා මර්වින් සිල්වා ප්‍රමුඛ මැර පිරිසක් රූපවාහිනී සංස්ථාවට කඩා වැදී එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ටී.එම්.ජී. චන්ද්‍රසේකරට අමානුෂික ලෙස පහර දුන්නේය. මර්වින් සිල්වා පවසන පරිදි, මෙම ප්‍රහාරයට මුල් වී ඇත්තේ එවකට ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක්ව සිටි මංගල සමරවීර කෙරෙහි පැවති දේශපාලන වෛරයයි. ප්‍රහාරයට පෙර දින මාතරදී පැවති උත්සවයකදී මංගල සමරවීරට අපහාස කරමින් මර්වින් කළ කතාව රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයේ ඇතුළත් නොකිරීම මහින්ද රාජපක්ෂගේ කෝපයට හේතු වී තිබේ.

“මාතර මහානාම පාලම විවෘත කරන්න ගිහින් එනකොට මහින්ද රාජපක්ෂ මට කිව්වා රූපවාහිනිය මංගලට ඕනෑ විදිහට වැඩ කරන්නේ, ඒක පොඩ්ඩක් බලන්න කියලා. මාව රූපවාහිනියට යවලා එතුමා එහේට කෝල් කරලා කිව්වා ‘ඔන්න මර්වින් එනවා ගහන්න’ කියලා ඕඩර් එක දෙන්න කියලා. ඒක තමයි රාජපක්ෂ ස්ටයිල් එක,” යනුවෙන් මර්වින් සිල්වා මෙහිදී පාපොච්චාරණය කර ඇත.

යුක්තිය පසිඳලීමේ ප්‍රමාදය
වීඩියෝ දර්ශන සහ ඇසින් දුටු සාක්ෂි ඕනෑ තරම් තිබියදීත්, මෙම අපරාධයේ විමර්ශන වසර 17ක් පුරා අතිශය මන්දගාමීව සිදුවීම බරපතළ ප්‍රශ්නයක් බව විචාරකයෝ පෙන්වා දෙති. මර්වින් සිල්වා අත්අඩංගුවට ගැනීමට පවා නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ සිද්ධියෙන් වසර 12 හමාරකට පසුව 2020 වසරේදීය. මෙම ප්‍රමාදය හරහා රාජ්‍ය ආයතනයක් තුළ සිදුවූ බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් දේශපාලන රැකවරණය මැද යටපත් කළ ආකාරය පැහැදිලි වේ.

පහරකෑමට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ටී.එම්.ජී. චන්ද්‍රසේකර පවසන්නේ, මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයෙන් සමාදානය සඳහා ආරාධනා ලැබුණ ද තමන් එය ප්‍රතික්ෂේප කළ බවයි. තමන්ට අවශ්‍ය වූයේ පෞද්ගලික “සෙට්ල්මන්ට්” එකක් නොව, නීතිමය සාධාරණයක් පමණක් බව ඔහු අවධාරණය කළේය. රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ රාජ්‍ය දේපළවලට හානි කිරීම වැනි බරපතළ වැරදි සම්බන්ධයෙන් මර්වින් සිල්වාට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම මෙරට නීති පද්ධතියේ පවතින දුර්වලතාවක් ලෙස ඔහු පෙන්වා දෙයි.

මෙම හෙළිදරව්ව හරහා පැහැදිලි වන්නේ රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතන පාලනය කිරීමට සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීමට රාජ්‍ය බලය සහ මැර කල්ලි ඉතා සංවිධානාත්මකව භාවිත කළ ආකාරයයි.