ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන විභවයන් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තැබීමේ අරමුණින්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නුවරදී විශේෂ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.
මෙහි පළමු පියවර ලෙස ඔහු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී, එරට ආර්ථික වර්ධන, බලශක්ති සහ පරිසර පිළිබඳ පරිපාලන උප ලේකම් ජේකබ් හෙල්බර්ග් (Jacob Helberg) හමුවී සාකච්ඡා පැවැත්වීය. මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරගත හැකි ආකාරය පිළිබඳවයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික වර්ධන අදියර සඳහා ඇමෙරිකානු ආයෝජන සහ නවීන තාක්ෂණික දායකත්වය ලබාගත හැකි වරාය සංවර්ධන, සැපයුම් දාම (Logistics), බලශක්ති ප්‍රභවයන් සහ දත්ත මධ්‍යස්ථාන (Data Centres) වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර කෙරෙහි මෙහිදී දෙපාර්ශ්වයේම දැඩි අවධානය යොමු විය.
2022 වසරේ මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් උගත් පාඩම් පාදක කරගනිමින්, ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන්මග විවෘතභාවය සහ ජාත්‍යන්තර විශ්වාසය මත ගොඩනැගෙන බව හනීෆ් යූසුෆ් මෙහිදී පෙන්වා දුන්නේය. වඩාත් තරඟකාරී, විනිවිදභාවයකින් යුතු සහ ආයෝජන සඳහා හිතකර ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් රජය කැපවී සිටින බව ඔහු එහිදී අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවේදී උප ලේකම් හෙල්බර්ග් ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර, දෙරටේ වාණිජමය අවශ්‍යතා සහ පොදු වටිනාකම් මත පදනම් වූ ශක්තිමත් සබඳතාවක් ගොඩනැගීමට ඇති කැමැත්ත පළ කළේය. මෙම සාකච්ඡා වඩාත් ප්‍රායෝගික තලයකට ගෙන ඒම සඳහා උප ලේකම්වරයාට කොළඹ සංචාරයක නිරත වන ලෙස ද හනීෆ් යූසුෆ් මෙහිදී ආරාධනය කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඍජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.