ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දී තිබූ නියෝගය වැරදි සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කළේය.
ඒ අනුව, අදාළ සියලුම විත්තිකරුවන්ට සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩුව පවත්වාගෙන යා හැකි බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම නඩුව කඩිනමින් විභාග කර අවසන් කරන ලෙස ද නියෝග කළේය.
2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36කට අධික භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන චෝදනාව මත නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි. එහි විත්තිකරුවන් ලෙස රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙර අවස්ථාවකදී මහාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර තීරණය වූයේ, පොදු දේපළ පනතේ 07 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කළ හැක්කේ ‘ස්වභාවික පුද්ගලයන්ට’ පමණක් බවයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් යනු සමාගමක් (නීතිමය පුද්ගලයෙක්) බැවින් ඊට එරෙහිව මෙම පනත යටතේ නඩු පැවරිය නොහැකි බවත්, ඒ අනුව ඊට සම්බන්ධ සෙසු විත්තිකරුවන් ද නිදහස් කළ යුතු බවත් මහාධිකරණය නිගමනය කර තිබුණි.
කෙසේ වෙතත්, එම නෛතික ස්ථාවරය ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පොදු දේපළ පනත යටතේ වූ මෙම චෝදනා පවත්වාගෙන යාමට කිසිදු නෛතික බාධාවක් නොමැති බව අවධාරණය කළේය. මෙම තීන්දුවත් සමඟ වසර ගණනාවක් තිස්සේ ඇදී යන මෙරට විශාලතම මූල්‍ය වංචා නඩුවට නව පණක් ලැබී තිබේ.