ඉන්ධන ආනයනය වෙනුවෙන් සුවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් බැහැරට ගලා යාම නිසා ඇති වන ආර්ථික පීඩනය කළමනාකරණය කර ගැනීමට නම්, ඉන්ධන පරිභෝජනය අනිවාර්යයෙන්ම අඩු කළ යුතු බව බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි. මෑතකදී සිදු කළ ඉන්ධන මිල සංශෝධනය, පාරිභෝගිකයා අධෛර්යමත් කර පරිභෝජනය සීමා කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව ගත් තීරණයක් බව ඔහු සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) බිල්පත් පද්ධතිය ඩිජිටල්කරණය කිරීම නිමිත්තෙන් අද (01) කොළොන්නාව පරිශ්‍රයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය මැයි මාසය වන විට ඉන්ධන ආනයනය සඳහා පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 524ක මුදලක් වැය වී ඇති බවයි. “මෙම තත්ත්වය තවදුරටත් දරා සිටීම රටේ ආර්ථිකයට අසීරුයි. අපනයන වියදම් ඉහළ යාම පාලනය කිරීමට නම් ඉන්ධන භාවිතය සීමා කළ යුතුමයි. නැතහොත් එය සමස්ත ආර්ථිකයේම අස්ථාවරත්වයට හේතු විය හැකියි,” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
විදේශ විනිමය අර්බුදය හමුවේ ඇති වන පීඩනයෙන් වැඩි කොටසක් රජය සහ සැපයුම් සමාගම් දරන අතර, ඉතිරි කොටස පාරිභෝගිකයා වෙත පැවරීමට රජයට සිදුව ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය. මෙරට ඉන්ධන මිල ඉහළ ගොස් ඇතත්, ලෝක වෙළෙඳපොළේ සෙසු රටවල සිදුව ඇති මිල වැඩිවීම්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තවමත් අඩු ප්‍රතිශතයක පසුවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෑතකාලීන දත්තවලට අනුව පෙට්‍රල් 92 සහ 95 මිල ගණන් 45% – 48% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ඩීසල් මිල ද 44% කින් පමණ ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, රජය තවමත් සාමාන්‍ය සිල්ලර මිලට වඩා රුපියල් 25ක් අඩුවෙන් ඉන්ධන ලබාදෙන බවත්, විදුලි ජනනය සඳහා ඩීසල් භාවිතය අවම කර ඇති බැවින් මෙම ඉන්ධන මිල වැඩිවීම විදුලි ගාස්තු කෙරෙහි බරපතළ බලපෑමක් ඇති නොකරන බවත් අනුර කරුණාතිලක වැඩිදුරටත් සහතික විය.