ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක කිරීමේ අරමුණින්, කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක පිරිවැයකින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද “ස්නායු රෝග විද්‍යා ආයතනය” අද (ජුනි 01) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ සහභාගිත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.

1982 වසරේදී ආරම්භ වූ මෙම ආයතනය දශක කිහිපයකින් නිසි ප්‍රතිසංස්කරණයකට ලක්ව නොතිබූ අතර, වත්මන් රජය මැදිහත් වී අදියර තුනක් යටතේ මෙහි නවීකරණ කටයුතු නිම කර ඇත. ඒ අනුව බිම් මහල සඳහා මිලියන 22ක් ද, පළමු මහල සඳහා මිලියන 52ක් සහ තුන්වන මහල සඳහා මිලියන 25ක් ද වශයෙන් මෙම මුදල ආයෝජනය කර තිබේ. මෙහිදී ඇඳන් 22 බැගින් සමන්විත 62 සහ 63 යන කාන්තා හා පිරිමි වාට්ටු ද ප්‍රතිකාර සේවා සඳහා විවෘත කෙරිණි.

මෙම අවස්ථාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ආයතනයේ නිර්මාතෘ, දේශමාන්‍ය විද්‍යා ජෝති විශේෂඥ වෛද්‍ය ඡේ.බී. පීරිස්ගේ ඡායාරූපයක් අමාත්‍යවරයා අතින් නිරාවරණය කෙරුණු අතර ඒ සඳහා ඔහු ද සජීවීව එක්ව සිටීම කැපී පෙනුණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කළේය. දේශපාලන ලැයිස්තු මත පත්වීම් දීමේ දූෂිත සංස්කෘතිය පරාජය කරමින්, විවෘත සම්මුඛ පරීක්ෂණ හරහා සුදුසුකම් මත පමණක් සෞඛ්‍ය කාර්ය සහායකයන් 1,900ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ඔහු පැවසීය. එමෙන්ම හෙද සේවාව ශක්තිමත් කිරීම සඳහා ඔක්තෝබර් මාසයේදී තවත් හෙද නිලධාරීන් 2,600කට පත්වීම් ලබා දෙන බව ද ඔහු අනාවරණය කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 619ක දැවැන්ත අයවැය ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බවත්, ඉන් බිලියන 50ක් ගොඩනැගිලි හා උපකරණ නඩත්තුව සඳහාම වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 2029 වසර වන විට මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීම රජයේ අවසන් ඉලක්කය බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.