‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ සමාජීය, පාරිසරික සහ තාක්ෂණික වශයෙන් උසස් මට්ටමක පවතින “ආදර්ශ නගර” (Model Cities) නිර්මාණය කිරීම සඳහා වන මූලික සැලසුම් මේ වන විට සකස් වෙමින් පවතී. මෙම වැඩසටහන වඩාත් ප්‍රායෝගික හා විද්‍යාත්මක පදනමකින් ක්‍රියාවට නැංවීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී ගනු ලැබූ වඩාත් තීරණාත්මක තීන්දුවක් වන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පූර්ණ තාක්ෂණික දායකත්වය ලබා ගැනීමයි. ඒ අනුව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නගර නිර්මාණ මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිතුමිණී රත්නමලලගේ ප්‍රධානත්වයෙන් විශේෂ විද්වත් කමිටුවක් පත් කෙරිණි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කාර්යසාධක බලකායේ සාමාජිකයන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.

මෙම ව්‍යාපෘතියේ මූලික අදියරේදී ලෝකයේ සාර්ථක නගර ආකෘතීන් අධ්‍යයනය කර, තෝරාගත් නගර කිහිපයක් ආදර්ශ නගර ලෙස සංවර්ධනය කෙරේ. අනතුරුව එම අත්දැකීම් සහ විද්‍යාත්මක මාර්ගෝපදේශ පදනම් කර ගනිමින් දිවයින පුරා පිහිටි අනෙකුත් නගර ද නවීකරණය කිරීමට රජය අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘතිය හුදෙක් භෞතික යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා නොවන්නකි. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ මූලික අරමුණ වන්නේ උසස් මානුෂීය සහ සමාජීය සාරධර්මවලින් හෙබි, එකිනෙකාට ගරු කරන විනයගරුක නාගරික ප්‍රජාවක් බිහිකිරීමයි. එමෙන්ම පිරිසිදු පාරිසරික සංකල්ප ක්‍රියාවට නැංවීම සහ කැළිිකසළ කළමනාකරණය විද්‍යාත්මක ක්‍රමවේද හරහා සිදු කිරීමට ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. ජනතාවට අවශ්‍ය සේවාවන් විනිවිදභාවයකින් හා කඩිනමින් ලබා දීම සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු පුළුල් ඊ-සේවා (e-services) ජාලයක් ද මෙම ආදර්ශ නගර තුළ ස්ථාපිත වනු ඇත.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ කාර්යසාධක බලකායේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.