ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් මේ වන විට මෙනින්ජයිටීස් (Meningitis) රෝගය වැළඳුණු බවට සැක සහිත රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම පිරිසිදු පානීය ජලය භාවිත කරන ලෙසත්, හැකි සෑම විටම ජලය උණුකර නිවා පානය කරන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා පෙන්වා දුන්නේ, දැනට වාර්තා වන රෝගීන් අතර බහුතරයක් වෛරස් ආසාදන නිසා ඇතිවන මෙනින්ජයිටීස් තත්ත්වයට ගොදුරු වී ඇති බවයි. මෙම රෝගී තත්ත්වය ප්‍රථමයෙන් පසුගිය අප්‍රේල් 15 වැනිදා මාතර, දෙණියාය ප්‍රදේශයෙන් හඳුනාගත් අතර, පසුව රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඩ සහ දියතලාව යන ප්‍රදේශවලින් ද රෝගීන් වාර්තා වී තිබේ.
වාර්තා වී ඇති රෝගීන් අතරින් වැඩිම පිරිස පාසල් දරුවන් වීම විශේෂත්වයකි. ඊයේ (31) පස්වරුව වන විට ඉන් රෝගීන් 59 දෙනෙකු පමණක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර, සෙසු පිරිස සුවය ලබා නිවෙස් බලා ගොස් ඇති බව ද වෛද්‍යවරිය සඳහන් කළාය. තද උණ, දරුණු හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන අතර, වෛරස් මෙනින්ජයිටීස් තත්ත්වය නිසි වෛද්‍ය උපදෙස් මත දින කිහිපයකින් සුව කර ගත හැකිය.
අපිරිසිදු පානීය ජල මූලාශ්‍ර රෝගය පැතිරීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවට හඳුනාගෙන ඇති බැවින්, සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව පාසල් සහ පොදු ස්ථාන සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව, දරුවන්ගේ ආහාර සහ ජලය එකිනෙකා අතර හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත්, සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අකුරටම අනුගමනය කරන ලෙසත් දෙමාපියන්ට සහ ගුරුවරුන්ට උපදෙස් ලබා දී ඇත. පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීම සඳහා මේ වන විට විශේෂ විමර්ශන කමිටු ද පත් කර තිබේ.