ලොව පුරා ව්‍යාප්ත වන ඉබෝලා (Ebola) වෛරසය සහ ශ්‍රී ලංකාවේ පවතින මෙනින්ජයිටීස් (Meningitis) රෝගී තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (01) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙනින්ජයිටීස් රෝගය පාලනය සඳහා සෞඛ්‍ය අංශ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, එය සාර්ථක කර ගැනීමට නම් මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය. පසුගිය දිනවල දන්සැල් ඇතුළු පොදු රැස්වීම්වලදී උණුසුම් පාන වර්ග ලබාදීමට උපදෙස් දුන්නේ ද මෙම රෝගය පැතිරීම වැළැක්වීමේ පූර්ව පියවරක් ලෙස බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

“මේ වන විට මෙනින්ජයිටීස් රෝගය යම් මට්ටමකට පාලනය කර ගැනීමට අප සමත්ව තිබෙනවා. නමුත් එය සුළුවෙන් තක්සේරු කර නොසලකා හැරිය යුතු නැහැ. විශේෂයෙන්ම කුඩා දරුවන් අතර රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින්, සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව අනුගමනය කිරීම වැදගත්,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ගෝලීය වශයෙන් පවතින ඉබෝලා තර්ජනය පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, අප්‍රිකානු කලාපයේ ආරම්භ වූ මෙම රෝගය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හදිසි තත්ත්වයක් ලෙස නම් කර ඇති බව සඳහන් කළේය. ඒ අනුව මෙරට වසංගත රෝග විද්‍යා ඒකකය ද අදාළ තොරතුරු නිරන්තරයෙන් විශ්ලේෂණය කරමින් මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙත අවශ්‍ය මාර්ගෝපදේශ දැනටමත් ලබා දී ඇති බව ඔහු සහතික විය.