නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක් ආරම්භ කළ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (27) උදෑසන නවසීලන්තයට ළඟා විය. එහිදී ඔහුට එරට රජය විසින් අතිශය ගෞරවනීය සහ උණුසුම් පිළිගැනීමක් පිරිනමන ලදී.
නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශයේදී සාම්ප්‍රදායික මාවෝරි (Māori) “පෝහිරි” (Pōwhiri) පිළිගැනීමක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික විදේශ අමාත්‍යවරයා ලෙස විජිත හේරත් මෙහිදී ඉතිහාසයට එක් විය. “පෝහිරි” යනු නවසීලන්තයේ ස්වදේශික මාවෝරි ජනතාවගේ පූජනීය චාරිත්‍රයක් වන අතර, එමඟින් ආගන්තුකයන් සහ සත්කාරකයන් අතර ඇති සැකය හා බිය දුරු කර මිත්‍රත්වයේ සහ සහෝදරත්වයේ සංස්කෘතික බැඳීමක් ඇති කරනු ලබයි.
සිය සංචාරයේ පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුව ලෙස අමාත්‍ය විජිත හේරත් අද උදෑසන නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ගෙරී බ්‍රවුන්ලී හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. දෙරට අතර පවතින වෙළෙඳාම, අධ්‍යාපනය සහ පාර්ලිමේන්තු කටයුතු ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අනාගත වැඩපිළිවෙළවල් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාවේ නවසීලන්ත පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමේ නායකයා ලෙස 2024 ජූලි මාසයේදී තමන් මෙරට කළ සංචාරය කථානායක බ්‍රවුන්ලී මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.
ජුනි මස 03 වැනිදා දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරය අතරතුර, අමාත්‍ය විජිත හේරත් නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සහ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් සමඟ ද විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය උත්සවාකාරයෙන් විවෘත කිරීම ද මෙම සංචාරයේ තවත් සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. මීට අමතරව, දෙරටේ ව්‍යාපාරික නායකයින්, විද්වතුන් සහ එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ද අමාත්‍යවරයා අදහස් හුවමාරු කර ගැනීමට සැලසුම් කර තිබේ.