රාජ්‍ය විශ්‍රාම වැටුප් ක්‍රමවේදයකට හිමිකම් නොකියන මෙරට බහුතරයක් වූ අවිධිමත් අංශයේ වෘත්තිකයන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවැති මාධ්‍ය හමුවකදී එම මණ්ඩලයේ සාමාන්‍යධිකාරී කල්හාරි ද සිල්වා මේ බව අනාවරණය කළාය.

ලංකාවේ සමස්ත සේවා නියුක්තියෙන් 55%ක් සහ 60%ක් අතර ප්‍රමාණයක් අවිධිමත් අංශයේ නිරතව සිටින අතර, ඔවුන් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් එකකට (1/3) සෘජුවම දායකත්වය ලබා දෙයි. එහෙත්, මෙම පිරිසෙන් බහුතරයක් වයස අවුරුදු 60 ඉක්මවූ පසු සිය විශ්‍රාම දිවිය ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳව පූර්ව සැලසුමක් නොමැති වීම බරපතළ සමාජ ගැටලුවක් බව ඇය පෙන්වා දුන්නාය.

දකුණු ආසියාතික රටවල් අතරින් වේගයෙන්ම ජනගහණය වියපත් වන රට ශ්‍රී ලංකාවයි. වත්මන් දත්ත අනුව සෑම පුද්ගලයන් අට දෙනෙකුගෙන් අයෙක් අවුරුදු 60 ඉක්මවා ඇති අතර, 2035-2040 කාලය වන විට සෑම හතර දෙනෙකුගෙන් අයෙකුම වැඩිහිටි පුරවැසියෙකු වනු ඇතැයි ගණනය කර තිබේ. පවුල් ඒකක කුඩා වීම සහ දරුවන් රැකියා සඳහා නාගරීකරණය වීම නිසා වැඩිහිටියන් හුදෙකලා වීමේ හා අසරණ වීමේ අවදානම ද මෙහිදී අවධාරණය කෙරිණි.

“අද ඔබ ආදායම් උපයන කාලයේදීම හෙට දවස පිළිබඳව සිතිය යුතුයි. දෛනික ආදායම් ලබන ඕනෑම අයෙකුට, ස්වයං රැකියාලාභියෙකුට හෝ අවිධිමත් අංශයේ සේවකයෙකුට තමන්ගේ හැකියාව පරිදි දායක විය හැකි විශ්‍රාම වැටුප් ක්‍රම කිහිපයක්ම අප හඳුන්වා දී තිබෙනවා,” යනුවෙන් කල්හාරි ද සිල්වා සඳහන් කළාය. 1996 අංක 17 දරන පනත මගින් පිහිටුවා ඇති මෙම මණ්ඩලය හරහා තමන්ගේ විශ්‍රාම දිවියට ශක්තිමත් මූල්‍ය පදනමක් සකසා ගන්නා ලෙස ඇය සියලුම වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටියාය.