බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ උන්වහන්සේට ආධාර අනුබල දුන් බව කියන වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (22) නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සජීවනී අබේකෝන්, පොලීසියේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළාය. ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මෙම ප්‍රබල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකාරියට “කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට” සිදු වූ බවයි.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් තමන්ව දූෂණය කළ බවට වින්දිත දැරිය විසින් පිළිගත හැකි ප්‍රබල සාක්ෂි සහිතව ප්‍රකාශ ලබා දී තිබියදීත්, පොලිසිය සැකකාර හිමියන් පදිංචි විහාරස්ථානයට ගොස් ප්‍රකාශයක් පමණක් සටහන් කරගෙන උන්වහන්සේ මුදා හැර ඇති බව නීතිඥවරිය අනාවරණය කළාය. මෙමගින් පොලිසිය සැකකරුට නීතියෙන් ගැලවීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී ඇති බවට ඇය වක්‍රව චෝදනා කළාය.
මේ අතර, සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, සිය සේවාදායකයාට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර විමර්ශන අවසන් බැවින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත සැකකාර හිමිනම මුදා හැරීමට නියෝග කළේය. දැරියගේ මවට ද ශරීර ඇප දෙකක් නියම වූ අතර, දෙදෙනාටම විදේශ ගමන් තහනම් කිරීමටත් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටත් දැඩි ලෙස අවවාද කිරීමටත් අධිකරණය පියවර ගත්තේය.