පසුගිය පාලන සමයන්හිදී නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ ‘තාරුණ්‍යයට හෙටක්’ සහ ‘නිල් බලකාය’ වැනි සංවිධාන හරහා මෙරට තරුණ පරපුර පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අවභාවිත කළ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කිරීමට “යූත් ක්ලබ්” සංවිධානය සමත්ව තිබේ. තරුණයන් නන්නත්තාර දේශපාලනයක් වෙත යොමු කළ එම අතීත ක්‍රියාමාර්ග වෙනුවට, රටටත් සමාජයටත් වගකියන නිර්මාණශීලී තරුණ බලකායක් වර්තමානයේ පෙරමුණට පැමිණ සිටී.
මෙම නව පරිවර්තනය මැනවින් විදහා දක්වමින්, විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ අරමුණින් ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත වැඩසටහන් මාලාවක් ඊයේ (24) දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක විය. මෙරට නිර්මාණශීලී තරුණ තරුණියන් දස දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම ක්‍රියාවලියට “යූත් ක්ලබ්” සංවිධානය නායකත්වය ලබා දුන්නේය.
රට පුරා විහිදුණු මෙම මෙහෙයුම යටතේ පාද යාත්‍රා, රථ වාහන පෙළපාලි, වීදි නාට්‍ය සහ පත්‍රිකා බෙදා හැරීම් වැනි විවිධ දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග රැසක් දියත් කෙරිණි. මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් සිය පරම්පරාව සහ මතු පරම්පරාව මුදා ගැනීම සඳහා තරුණ ප්‍රජාව තුළ පවතින දැඩි උනන්දුව සහ කැපවීම මෙහිදී මැනවින් දක්නට ලැබුණි. අතීතයේ දේශපාලන ප්‍රභූන් වෙනුවෙන් කොඩි එසවීමට සහ පෝස්ටර් ඇලවීමට යොදාගත් තාරුණ්‍යය, අද වන විට රටේ පොදු සතුරාට එරෙහිව බුද්ධිමත්ව සහ සංවිධානාත්මකව පෙළගැසී තිබීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.