ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ කළමනාකරණය වැනි ජනතාවට සෘජුවම බලපාන ගැටලු විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (20) පෙරවරුවේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
මඩකළපුව දිස්ත්‍රික්කයේ පානීය ජලය, වාරිමාර්ග සහ කර්මාන්ත සඳහා අවශ්‍ය ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳව මහජන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් එක්ව සාකච්ඡා කර විධිමත් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. එම වාර්තාව පදනම් කරගනිමින් වැඩිදුර සාකච්ඡා පැවැත්වීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කණ්ඩායමක් කඩිනමින් ප්‍රදේශයට එවීමට ද ඔහු පියවර ගත්තේය. ප්‍රධාන ව්‍යාපෘති නිමවන තෙක් ජනතාව මුහුණ දෙන පානීය ජල හිඟයට කඩිනම් තාවකාලික විසඳුම් ලබාදෙන ලෙස ද ඔහු නිලධාරීන්ට දැනුම් දුන්නේය.
දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් පිළිබඳ අවධානය යොමු කරමින්, සැලසුම් කර ඇති සියලුම මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කටයුතු මෙම වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළේය. මීට අමතරව, වනජීවී කලාපවලට අයත් වගා බිම් සම්බන්ධයෙන් පවතින ගැටලු සහ මයිලත්තමඩු – මාදවනෙයි තෘණ භූමිය ආශ්‍රිතව කිරි ගොවීන් මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
නැගෙනහිර පළාතේ ධීවර කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් වන වාලච්චේන වරාය පූර්ණ ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රදීපාගාරයක් ඉදිකිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී උපදෙස් හිමි විය. එමෙන්ම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය, අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ සෞඛ්‍ය පහසුකම් නැංවීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය ද ජනාධිපතිවරයාගේ සමාලෝචනයට ලක් විය.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ වගා බිම් සහ නිවාස සඳහා වන්දි ගෙවීමේ කටයුතු මෙන්ම නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන් ද කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට අවධාරණය කළේය. දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ‘ප්‍රජාශක්ති’ වැඩසටහනේ වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
මෙම අවස්ථාවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කන්දසාමි ප්‍රභූ, එස්. රාසමානික්‍යම්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඇතුළු මහජන නියෝජිතයන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.