ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පෙරවරුවේ රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසා බැලූ ජනාධිපතිවරයා, ඔවුන් සමඟ සුහද කතාබහකට ද එක්විය.

මාතෘ භූමියේ ඒකීයභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් මෙම රණවිරුවන් ඉටුකළ අනූපමේය මෙහෙවර සහ කළ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී විශේෂ අගය කිරීමකට ලක් කළේය. අනතුරුව රණවිරු සෙවණ ආයතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හමුවූ ජනාධිපතිවරයා, ප්‍රතිකාර ලබන සෙබළුන් වෙනුවෙන් දැනට සපයනු ලබන සේවාවන් පිළිබඳව සොයා බැලීය.

විශේෂයෙන්ම ඔවුන්ගේ වෛද්‍ය අවශ්‍යතා සහ අනෙකුත් පහසුකම් තවදුරටත් කාර්යක්ෂමව සැපයීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. රණවිරුවන්ගේ ජීවන තත්ත්වය සහ සුවපහසුව සහතික කිරීම රජයේ වගකීමක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ. වීරකෝන් සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන ඇතුළු පිරිසක් සහභාගී වූහ.