රටේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බවත්, රාජ්‍ය නිලධාරීන්ට බියෙන් තොරව තම රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය පසුබිම වර්තමාන පාලනය යටතේ නිර්මාණය වී ඇති බවත් ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානය අවධාරණය කරයි.

පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංවිධානයේ නියෝජිතයෝ මේ බව ප්‍රකාශ කළහ.

වසර 18කට පසු ලැබුණු යුක්තිය

මෙහිදී අදහස් දැක්වූ නීතිඥ අකලංක, 2008 වසරේ නොවැම්බර් 24 වැනිදා හලාවත ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් හලාවත මහාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව අවධානය යොමු කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සහෝදරයෙකු සම්බන්ධ මෙම නඩුවෙන් තහවුරු වූයේ දේශපාලන බලය මත රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කළ යුගය අවසන් වී ඇති බව යැයි ඔහු පැවසීය.

එවකට තේක්ක ගස් කැපීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ගිය ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට බාධා කරමින්, පහර දීමට කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව වසර 18කට පසු නීතිය ක්‍රියාත්මක වීම නීතියේ ආධිපත්‍යය පිළිබඳ සුබදායී පණිවිඩයක් බව ඔහු සඳහන් කළේය.

“එදා ගම්බද ග්‍රාම සේවකවරු ගස් බැඳපු, විදුහල්පතිවරුන්ට පහර දුන්, ගුරුවරුන් දණගස්වපු දේශපාලන සංස්කෘතිය අද වෙනස් වී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන්ට දැන් අධිකරණය කෙරෙහි විශ්වාසය තැබිය හැකියි,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

දේශපාලන අතපෙවීම්වලින් තොර නීති පද්ධතියක්

මාධ්‍ය හමුව ඇමතූ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම කියා සිටියේ, වර්තමාන රජය යටතේ නීතිපති දෙපාර්තමේන්තුවට, රහස් පොලිසියට හෝ පොලිස් දෙපාර්තමේන්තුවට කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවන බවයි. පසුගිය කාලසීමාව තුළ දේශපාලන අවශ්‍යතා මත නඩු ඉල්ලා අස්කර ගැනීම් හෝ නඩු ගොනු නොකර සිටීම් බහුලව සිදු වුවද, දැන් එම තත්ත්වය සම්පූර්ණයෙන් නතර වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳවද ඔහු මෙහිදී පැහැදිලි කළේය. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ මහාධිකරණ ශාලා සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කර ඇති බවත්, එමගින් වසර ගණනාවක් තිස්සේ ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කිරීමට මග පෑදෙන බවත් ඔහු සඳහන් කළේය.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ වෙනසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවද මෙහිදී අදහස් පළ විය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡා සාර්ථක වූ බවත්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිදුවිය යුතු පරිවර්තනයන් සඳහා නව නීති රීති හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවත් මෙහිදී අනාවරණය විය.

අවසාන වශයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයන් අවධාරණය කළේ, නීතිය සැමට සමාන විය යුතු බවත්, යුක්තිය ඉටු වනවා සේම එය ඉටු වන බව ජනතාවට පෙනෙන්නට තිබිය යුතු බවත්ය. ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුට දේශපාලන බලපෑම්වලින් තොරව තම රාජකාරිය කිරීමට වර්තමාන නීතිමය පරිසරය තුළ පූර්ණ ආරක්ෂාව සලසා ඇති බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියහ.