‘ලංකා මෙට්‍රො ට්‍රාන්සිට්’ (Lanka Metro Transit) බස් රථ සේවාව භාවිත කරන මගීන්ගේ පහසුව උදෙසා මාකුඹුර – කොළඹ කොටුව සහ මාකුඹුර – කඩවත යන මාර්ග සඳහා නව නැවතුම් ස්ථාන කිහිපයක් අද (15) සිට හඳුන්වා දී තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ මගී ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව, මාකුඹුර – කොළඹ කොටුව මාර්ගයේ මෙතෙක් පැවති නැවතුම්වලට අමතරව පන්නිපිටිය, තලවතුගොඩ, පාලම් තුන හංදිය සහ කාසල් රෝහල යන ස්ථානවල ද මින් ඉදිරියට මෙට්‍රො බස් රථ නතර කරනු ඇත.

මීට සමගාමීව, මාකුඹුර – කඩවත මාර්ගයේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් පන්නිපිටිය, මහරගම, නාවින්න, කිරුළපන, බොරැල්ල යුද හමුදා රෝහල සහ දෙමටගොඩ යන ස්ථාන නව නැවතුම් ලෙස එක් කර තිබේ. මෙම නව නැවතුම් ස්ථාන හරහා කාර්යාල සේවකයන්ට සහ දෛනික මගීන්ට වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් අත්කර දීම රජයේ අපේක්ෂාවයි.