බස්නාහිර පළාත් සභාව රුපියල් ලක්ෂ 2500කට අධික මූල්‍ය ප්‍රතිපාදන වැය කර ඉදිකරන ලද වීදියගොඩ ආයුර්වේද මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය ඊයේ (14) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නංවාලමින් මහජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව සංකීර්ණය තුළ බාහිර රෝගී අංශය (OPD), කාන්තාවන් සහ පිරිමින් වෙනුවෙන් වෙන්වූ සාමාන්‍ය වාට්ටු දෙකක් මෙන්ම ගෙවීමේ වාට්ටු දෙකක් ද ස්ථාපිත කර ඇත. මීට අමතරව, පරිපාලන කටයුතු සඳහා කාර්යාල පරිශ්‍රයක්, ශ්‍රවණාගාරයක්, වෛද්‍ය නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සඳහා විවේකාගාර මෙන්ම වෛද්‍ය නිල නිවාසයකින් ද මෙම සංකීර්ණය සමන්විත වේ.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූෂුෆ් සහභාගී වූහ. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර, කළුතර දිස්ත්‍රික් ලේකම් එස්.පී. හේරත් සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. නව වාට්ටු සංකීර්ණය විවෘත කිරීමත් සමඟ කළුතර දිස්ත්‍රික්කයේ දේශීය වෛද්‍ය සේවාවන්ට නව ප්‍රබෝධයක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතය.