බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (14) එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

දැනට දෙරට අතර පවතින ආර්ථික සබඳතා නිෂ්පාදන කාණ්ඩ කිහිපයකට පමණක් සීමා වී ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති ලුකෂෙන්කෝ, එම සහයෝගීතාව වඩාත් පුළුල් කළ යුතු බව අවධාරණය කළේය. ඒ අනුව වෙළෙඳ, කර්මාන්ත, කෘෂිකාර්මික හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි දියුණුව උදෙසා පැහැදිලි දැක්මක් සහිත ‘මාර්ග සිතියමක්’ (Roadmap) සකස් කිරීමට නායකයන් දෙපළ එකඟතාවකට පැමිණියහ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා බෙලරුස් රාජ්‍ය නියෝජිතයන් හරහා ලබාදිය හැකි උපරිම සහාය ලබාදීමට ද ජනාධිපති ලුකෂෙන්කෝ මෙහිදී කැමැත්ත පළ කළේය. දැනටමත් ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර ජාත්‍යන්තර නීතිමය ගිවිසුම් 8ක් ක්‍රියාත්මක වන අතර, වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමක් ද පිහිටුවා තිබේ.

පසුගිය වසරේදී දෙරට අතර වෙළෙඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් මිලියන 23.6ක අගයක් ගත් අතර, එය 2024 වසර හා සැසඳීමේදී 227%ක සුවිශේෂී වර්ධනයකි. මෙම වසර දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 25 වැනි සංවත්සරය සනිටුහන් වන වසර වීම ද විශේෂත්වයකි. මෙම සංචාරය හරහා දෙරටේ ජනතාව අතර සබඳතා මෙන්ම ආර්ථික හවුල්කාරිත්වය ද නව තලයකට ඔසවා තැබීමට අපේක්ෂිතය.