රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු පක්ෂ හිතවතුන්ගෙන් පුරවා ගැනීමේ සාම්ප්‍රදායික හා දූෂිත ක්‍රමය වත්මන් රජය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. රජයේ තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ දේශපාලන පසුබිමට වඩා ඔවුන් සතු හැකියාව සහ කුසලතාවය කෙරෙහි පමණක් අවධානය යොමු කරන බව ඔහු අවධාරණය කළේය.

රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, පසුගිය පාලන සමයන්හිදී රාජ්‍ය ආයතන තනතුරු පක්ෂ සාමාජිකයන් අතර බෙදා දීමේ ක්‍රමවේදයක් පැවති බවයි. “අපේ අරමුණ රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා අපේ පක්ෂයේ කණ්ඩායම් පුරවා ගැනීම නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ ඒ අදාළ තැන්වලට ගැළපෙන, වැඩ කළ හැකි දක්ෂයන් පත් කිරීමයි. එහිදී ඔවුන් කුමන දේශපාලන පක්ෂයකට අයත් දැයි සෙවීම රජයේ කාර්යයක් නොවේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව වැනි ආයතන සඳහා දක්ෂ පුද්ගලයන් පත් කිරීම රජයේ මෙම නව ප්‍රතිපත්තියට කදිම නිදසුනක් බව ද ඔහු සිහිපත් කළේය. රජයක් ලෙස සියලු විෂයයන් පිළිබඳව පූර්ණ දැනුමක් තමන්ට පමණක් ඇතැයි සිතීම මුලාවක් බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා, ඕනෑම ක්ෂේත්‍රයක සිටින අතිදක්ෂ පුද්ගලයන්ගේ සහාය ලබාගෙන රට ගොඩනැගීම රජයේ ස්ථාවරය බව ද සඳහන් කළේය.