ශ්‍රී ලංකාවේ සියලුම නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති “බුද්ධශාසන සභාව” බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී විශේෂ හමුවක් පවත්වන ලදී. ශාසනික සහ ජාතික වශයෙන් වැදගත්කමක් ඇති කරුණු රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණු බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, එළඹෙන ජාතික වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් සැමරීමට අදාළ මූලික සැලසුම් සකස් කෙරිණි. එමෙන්ම, ආපදාවට ලක්වූ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක ‘අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ වත්මන් ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් විය.
සම්බුද්ධ ශාසනයට එල්ල වන විවිධ අභියෝග ජය ගැනීම සඳහා බුද්ධශාසන සභාව සතු වගකීම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරුණු අතර, බැතිමතුන්ගේ පහසුව උදෙසා නිසි පිරිවිතරයන්ට අනුකූලව නිෂ්පාදනය කරන ලද උසස් ප්‍රමිතියේ අටපිරිකරක් හඳුන්වා දීමට අදාළ යෝජනා ද ඉදිරිපත් විය.
ශාසනික විනය සුරැකීම, භික්ෂු අධ්‍යාපනය නංවාලීම, ජාතික සංහිඳියාව තහවුරු කිරීම සහ මත්ද්‍රව්‍ය වැනි සමාජ ව්‍යසනයන් මැඬලීම සඳහා විශේෂිත කමිටු මගින් ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් රජය මැදිහත් වන ආකාරය තවදුරටත් විධිමත් කිරීමට සහ ශක්තිමත් කිරීමට සියලු පාර්ශ්වයන් මෙහිදී එකඟතාව පළ කළහ.