රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේදී, එහි නොමැති අඩුපාඩු මතු කරමින් රජයේ වැඩපිළිවෙළ ආපස්සට ඇදීමට ඇතැම් මාධ්‍ය ආයතන කටයුතු කරන බව කෘෂිකර්ම, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. මාධ්‍යයේ පවතින මෙම අනිසි හැසිරීම් හේතුවෙන් ක්ෂේත්‍රය තුළ අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයන් මතු වන බව ඔහු අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙරට කෘෂිකර්මාන්තයට අදාළ බීජ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. ගන්නෝරුව පැළෑටි හා ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානයේදී මෙම උත්සවය පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රජය විසින් හඳුන්වා දෙනු ලබන ඕනෑම ධනාත්මක පියවරක් විවේචනය කිරීම ඇතැම් මාධ්‍යවල ස්වභාවය වී ඇති බවයි. “අපි අද බීජ පද්ධතිය ඩිජිටල්කරණය කළා. ඒත් ඇතැම් මාධ්‍ය හෙට කුඹුරකට බැහැලා, තමන්ගේම හිතවතෙක් අල්ලගෙන මයික් එක දික් කරලා අහයි ‘මේ ඩිජිටල් කියන්නේ මොනවද, මේවා අපිට තේරෙනවද’ කියලා. ඔවුන් උත්සාහ කරන්නේ ගොවියා තාක්ෂණයෙන් ඈත් කර පෙන්වීමටයි. පවතින සත්‍ය යථාර්ථයට මුහුණ දෙනවා වෙනුවට ඔවුන් සැමවිටම කරන්නේ දියුණුව ආපස්සට ඇදීමයි,” යනුවෙන් ලාල්කාන්ත සිය විරෝධය පළ කළේය.
ධනාත්මක දේට ඉඩ නොදෙන මෙවැනි බාධා පැවතිය ද, මෙරට කෘෂිකර්මාන්තය ලෝකයේ ඉහළම තලයට ගෙන යාම සඳහා නවීන තාක්ෂණය සහ ඩිජිටල් සන්නිවේදනය අනිවාර්යයෙන්ම භාවිත කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි පවසා සිටියේ, මෙම ඩිජිටල්කරණය හරහා බීජ නිෂ්පාදනය, ගුණාත්මකභාවය, සහතික කිරීම, GPS සිතියම්කරණය සහ බීජ ආනයනය වැනි සියලු තොරතුරු ගොවීන්ට හා ව්‍යවසායකයන්ට ක්ෂණිකව ලබාගත හැකි බවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ‘CROPIX 2026’ යෙදවුම මගින් දෛනිකව යාවත්කාලීන වන දත්ත පද්ධතියක් ගොඩනගා ඇති බව ද ඔහු සඳහන් කළේය.