කඩවත බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් සිදුකළ විශේෂ වෛද්‍ය පරීක්ෂණයකදී අන්තරායකර ඖෂධ භාවිත කළ රියැදුරන් සහ රිය සහායකයන් හත්දෙනෙකු හඳුනාගත් බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පරීක්ෂණ ක්‍රියාවට නංවා තිබේ. එහිදී බස් රථ සේවකයින් 148 දෙනෙකු අහඹු ලෙස පරීක්ෂාවට ලක් කළ අතර, ඉන් හත්දෙනෙකු අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇත.
මෙම වැඩසටහන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත සකස් කෙරුණු ‘ජාතික මාර්ග ආරක්ෂණ සැලැස්ම’ යටතේ ක්‍රියාත්මක වන්නකි. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ මෙහෙයවනු ලැබූ අතර, ඒ සඳහා එම ආයතනය සතු විශේෂිත ජංගම පරීක්ෂණාගාර බස් රථය යොදාගැනුණි.
මගී ජීවිත විශාල සංඛ්‍යාවක් පිළිබඳ වගකීම දරන රියැදුරන් මෙලෙස මත්ද්‍රව්‍ය භාවිත කරමින් රාජකාරි කිරීම බරපතළ වරදක් බැවින්, ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත්, ඉදිරියේදී දිවයින පුරා පිහිටි අනෙකුත් ප්‍රධාන බස් නැවතුම්පොළවල ද මෙවැනි පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමටත් රජය සැලසුම් කර ඇත.