මාලිමාව බලයට ඒම වැළැක්වීම සඳහා මැතිවරණ සමයේ වේදිකා මත බොරු කියමින් ජනතාව බියවැද්දීමට උත්සාහ කළ විපක්ෂය දැන් මාලිමා ආණ්ඩුවට හතර වටින් වටකර පහර දෙමින් සිටී. මැතිවරණ සමයේ මාලිමාව ගැන ඔවුන් කියූ බොරු අනාවැකි හා බියවැද්දීම් සියල්ල දැන් අහෝසි වී තිබියෙදී ඒ කිසිවක් මතක නැතිව අලුතින් විවිධ අවලාද බොරු බේගල් ඇදබාමින් සිටිති. එහිදී ඔවුහු ආණ්ඩුවට මෙන්ම ආණ්ඩුවේ ප්‍රබල පුද්ගලයින් තෝරාගෙන ඔවුන්ටද ඉතා පහත් ලෙස අපහාස කරමින් බොරු චෝදනා නගමින් සිටිති.

ඔවුන් මාලිමා ආණ්ඩුවට එරෙහිව නගන පොදු චෝදනා කිහිපයක් ඇත. එකක් නම් මාලිමාව බොරු කියා බලයට ආ බවය. සැබැවින්ම ඒ සඳහා එකම හෝ සාධාරණ උදාහරණයක් ඉදිරිපත් කිරීමට ඔවුනට නොහැක. එහෙත් එසේ කියමින් යයි. ඊට හේතුවක් තිබේ. ඔවුන් (විපක්ෂය) පසුගිය ඉතිහාසය පුරාම බලයට ආවේ ජනතාවට කප්පරක් බොරු කියාය. ඔවුන් බොරු නොකීවේ යැයි කීමට ඔවුනට නොහැක. ඒ නිසා මාලිමාවද බොරු කියා බලයට ආ බව පවසා වරද සමාන කර ගැනීමට ඔවුන්ට අවශ්‍යය.

විපක්ෂය නගන අනෙක් චෝදනාව වන්නේ මාලිමා ආණ්ඩුවත් හොරකම් කරන දූෂිත ආණ්ඩුවක් බවය. එහෙත් ඔවුන්ගේ එකම චෝදනාවක්වත් ඔප්පු කිරීමට ඔවුනට කිසිදු සාධකයක් නැත. එහෙත් පෙර කරුණේදී මෙන්ම ඔවුන් නම් දැරූ හොරුන් දූෂිතයින් නිසා මාලිමාවද හොරුන් දූෂිතයන් ලෙස නම් කර ‘අපි විතරක් නෙවෙයි ඒ අයත් හොරකම් කරනවා’ යයි පවසා වරද සමකර ගැනීමට ඔවුන්ට අවශ්‍යය.

ඊට අමතරව බලය අහිමි වීම; වරප්‍රසාද අහිමි වීම (මන්ත්‍රී විශ්‍රාම වැටුප, වාහන පර්මිට් ආදී) පෙර කළ වැරදිවලට නීතිය ක්‍රියාත්මක වීම වැනි කරුණුද විපක්ෂයේ කෝපයට හේතු වී තිබිය හැක. එහෙත් ඒ සියල්ලට වඩා විපක්ෂයේ මේ කෝප සහගත හැසිරීමට බලපාන ප්‍රධාන එහෙත් සැඟවුණු සාධකයක් තිබේ. එය හරියටම වටහා ගැනීම, එය නිවැරදිව කියවා ගැනීම මේ මොහොතේ දේශපාලනයට ඉතා වැදගත්ය.

විපක්ෂයේ නායකයින් ඇතුළු සියලු දෙනා දැන් ආණ්ඩුවට නගන චෝදනා දෙස බලන විට පෙනී යන්නේ ඔවුන් ‘මැරී ඉපදුන’ අය සේය. මාලිමා ආණ්ඩුව මේ ගොඩනගමින් සිටින්නේ විපක්ෂය බලයේ සිටි දශක කිහිපය පුරා විනාශ කර බිඳවට්ටවා බංකොලොත් කරනු ලැබූ, ණය බරින් මිරිකී, ණය ගෙවීමට රටේ ජාතික සම්පත් විකිණීමට වෙන්දේසියේ දමා තිබූ රටක්, ආර්ථිකයක් බව ඔවුහු අමතක කරති.

මාලිමාව මේ ශුද්ධ පවිත්‍ර කරමින් සිටින්නේ බලයේ සිටියවුන් විසින් දශක කිහිපයක් තිස්සේ වංචා, දූෂණ, හොරකම හා වරප්‍රසාද ලබා ගැනීම් මගින් නිර්මාණය කර තිබූ අති දූෂිත මජර දේශපාලන සංස්කෘතිය බව ඔවුහු අමතක කරති. එසේම මාලිමාව මේ සටන් කරමින් සිටින්නේ ඔවුන්ගේ පාලන කාලයන් තුළ රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩ නැගූ මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ජාවාරම් සහිත පාතාලය සමග බව ඔවුහු අමතක කරති.

මාලිමා ආණ්ඩුව මේ වෙහෙසෙමින් සිටින්නේ විපක්ෂය බලයේ සිටි කාලය පුරාම බලය වෙනුවෙන් ජාතිවාදය වපුරා ජාතිවාදී ගැටුම්, කෝලාහල නිර්මාණය කර ජනතා සිත් තුවාල කර බෙදීමට ලක්කර තිබූ රටක ජාතික සමගිය ගොඩනැගීමට බව ඔවුහු අමතක කරති. මාලිමාව මේ ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහ කරන්නේ ඔවුන් විසින් ඉතිහාසය පුරා නිලධාරිවාදී පිරිහීමට ලක් කළ, අකාර්යක්ෂම කළ රාජ්‍ය සේවය බව ඔවුහු අමතක කරති. එසේම මාලිමාව මේ ප්‍රවේශමෙන් ගනුදෙනු කරමින් වෙනස් කිරීමට උත්සාහ කරන්නේ මෙරට පසුගාමී ධනේශ්වර ක්‍රමයේ ප්‍රභූ පාලනය තුළ චින්තනමය වශයෙන් වල්වැද්ද වූ ආත්මාර්ථකාමිත්වය නැමැති අයිස් වතුරේ ගිල්ල වූ සමාජයක් සමග බවත් ආණ්ඩුවේ අභියෝගය සමාජයේ චින්තනය හා දැක්ම වඩා හොඳ ප්‍රගතිශීලී දිසානතියකට ගෙන ඒම බවත් ඔවුහු අමතක කරති.

ඒ සියල්ල එසේ තිබියෙදී විපක්ෂය යක්ෂාවේෂයෙන් කුපිත වී සිටින්නේ ඇයි? එය පිටුපස සැඟවුණු දේශපාලනයක් තිබේ. මීට පෙරද ආණ්ඩු පැරදී ආණ්ඩු බලයට පත්වී ආණ්ඩු මාරුවී තිබේ. එවැනි ආණ්ඩු මාරුවලදී පරාජයට පත් අය මෙලෙස හැසිරෙනු අප දැක්කේ නැත. මන්ද ජයග්‍රාහක ප්‍රභූ කල්ලිය පරාජිත ප්‍රභූ කල්ලිය ආරක්ෂා කළ හෙයිනි. ඔවුනට අනුව එකම ප්‍රභූ ධනවාදී කණ්ඩායමක් තුළ බලය මාරුවීම ඔවුනට ලොකු ප්‍රශ්නයක් නොවේ. එවිට ඇත්තේ බලය ගැනීමේ ගැටලුව පමණි. ඒ සඳහා ඔවුන් විසින් ඊළඟ ඡන්දය එනතුරු ඉවසා සිටින ලදී.

එකල ජයග්‍රහණය කරන ලද ප්‍රභූ කල්ලිය තමන්ගේම පංතියේ පරාජිතයා රැක ගත් අතර ආණ්ඩුව තුළටද පුද්ගලයන් ලෙස ඇතුල් කර ගන්නා ලදී. ඔවුන් එකිනෙකා ආරක්ෂා කළේ කෙසේද යන්නට හොඳම උදාහරණය නම් සජිත් ප්‍රේමදාසගේ සොයුරිය හොර සල්ලි සමග හසු වූ බවට චෝදනා ලැබූ විට මහින්ද රාජපක්ෂ පාලනය විසින් ඇයව බේරා ගැනීමය. එවැනි උදාහරණ ඕනෑ තරම් ඇත.

එසේ නම් එදා නොතිබූ අද තිබෙන විශේෂ ගැටුම කුමක්ද? මාලිමාව බලයට ආවේ ධනේශ්වර ප්‍රභූ පංතියේ සියලු පක්ෂ පරදවමිනි. දැන් බලයේ සිටින්නේ නිර්ප්‍රභූ හා ජනතාව අතරින් පැමිණි පිරිසකි. ඔවුන් සමාන්‍ය දෙමාපියන්ගේ දරුවන්ය. දැන් තිබෙන්නේ ප්‍රභූ පාලනය පරදා ජනතාවාදී පාලනයක් බිහිවූ වටපිටාවකි. මෙම වෙනස, මෙම පංතිමය වෙනස දරාගැනීමට පරාජිත ප්‍රභූන්ට අමාරුය; ඔවුන්ගෙන් යැපුණ දූෂිතයන්ට, ජාවාරමුන්ට අමාරුය. මේ විපක්ෂයේ වේදනාවේ, කෝපයේ හා වියරු ප්‍රහාරයන්ගේ සැබෑ හේතුව එයයි. ඒකාබද්ධ විපක්ෂය ලෙස එකට එකතු වීමෙන්ම ඔවුහු ඔවුන්ගේ පංතිමය සමගිය පෙන්වා දෙති.

එසේම මහජනතාවක් පාරට බැස උද්ඝෝෂණය කර ඔවුන්ව තනතුරුවලින් පලවා හැරීමේ, දින කිහිපයක් ජනතාවට බියේ සැඟවී සිටීමට සිදුවීමේ වේදනාවද ඔවුනට නැතුවා නොවේ. කෙසේ වෙතත් සමාජයේ පහළ මාලයේ සිටි ජනතාව ඉහළ මාලයේ සිටි ප්‍රභූන් බලයෙන් ඇද දමා ආණ්ඩු බලය තමන් අතට ගැනීම, වෙනත් ලෙසකින් කියන්නේ නම් ප්‍රභූන්ගේ දෙව්ලොව නිර්ප්‍රභූන් විසින් ආක්‍රමණය කර අල්ලා ගැනීම ඔවුනට දරාගත නොහැක. මේ සියලු කුමන්ත්‍රණ, අවලාද, අපහාස, බොරු චෝදනා පසුපස ඇති අමිහිරි දේශපාලන සත්‍යය එයයි.

මෙරට දැන් පවතින්නේ ඉතිහාසයේ පළමු වතාවට ජනතාවගේ පාලනයකි; මහජන ආණ්ඩුවකි. එය යළි අත්පත් කර ගැනීමට තම පුරුදු මජර වරප්‍රසාද ලත් ජීවිත ගතකිරීමට පරාජිත දුෂ්ට බලවේගයන්ට ඉඩ නොදිය යුතුය. ජනතාවගේ පාලනය ආරක්ෂා කළ යුතුය. එය කළ හැක්කේද ජනතාවටය; ජන බලයකටය. අපි ජනරජයක් වෙනුවෙන් ජනබලය ගොඩනැගිය යුත්තේ මේ නිසාය. ජනබලය ශක්තිමත් කළ යුත්තේ මේ නිසාය.

නියමුවා දේශපාලන විවරණ Fb Page