මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටු සාමාජිකා සහ එම සමූහාණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ සභාපතිනී මහාචාර්ය ෂින් චුන්යිං (Xin Chunying) ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවූහ.

මෙම නියෝජිත පිරිසට චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සාමාජික සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ උප සභාපති කොන්ග් බින් (Cong Bin), එම කමිටුවේ සාමාජික ගාඕ සිචෙන්ග් (Gao Zicheng) ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඇතුළත් වූහ.

නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ශ්‍රී ලංකාව සහ චීනය අතර වසර දෙදහසකට අධික ඓතිහාසික සබඳතාවක් පවතින බව සිහිපත් කළේය. දෙරට අතර නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 2027 වසරට වසර 70ක් සපිරෙන බවත්, එය උත්කර්ෂවත් අයුරින් සැමරීමට බලාපොරොත්තු වන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම නිල හමුවෙන් අනතුරුව, චීන දූත පිරිස පාර්ලිමේන්තුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමකට ද සහභාගී වූහ. එහිදී දෙරටේ නීති පද්ධතීන් සහ පරිපාලන ක්‍රියාවලීන් පිළිබඳව අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසිණි.