ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මහා පරිමාණ අල්ලස් වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේය. පෙරවරු 9.30ට පමණ කොමිසම වෙත පැමිණි ඔහු පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශ ලබා දුන් අතර, එම අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයන් සහ පාක්ෂිකයන් පිරිසක් එහි රැස්ව සිටියහ.

තමන්ගේම දහඩිය මහන්සියෙන් උපයන බදු මුදල් සහ රටේ දේපළ මංකොල්ලකෑම පිළිබඳව කෙරෙන මෙම බරපතළ විමර්ශනය හමුවේ, චෝදනා ලැබූ පුද්ගලයාට සහාය පළ කිරීමට පිරිස් රොක් වීම සමාජ විචාරකයන්ගේ මෙන්ම මනෝවිද්‍යාඥයන්ගේ ද දැඩි අවධානයට ලක්ව තිබේ. මෙය හුදෙක් දේශපාලන පක්ෂපාතීත්වයකට වඩා එහා ගිය, “වහල් මානසිකත්වයක” (Slave Mentality) හෝ “ගොදුර සහ දඩයක්කාරයා අතර ඇති බැඳීමක” (Stockholm Syndrome) ලක්ෂණ පෙන්නුම් කරන්නක් බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

මනෝවිද්‍යාත්මක දත්ත අනුව, දීර්ඝ කාලයක් තිස්සේ “ගැලවුම්කාරයෙකු” ලෙස මවා පෙන්වන පුද්ගලයන් වන්දනා කිරීමට හුරු වූ ජනතාව තුළ ‘සංජානන විසංවාදය’ (Cognitive Dissonance) නම් තත්ත්වය හටගනී. එහිදී තම වීරයා වංචනිකයෙකු බවට සාක්ෂි ඉදිරිපත් වුවද, එම සත්‍යය පිළිගැනීමෙන් තමන්ගේ ආත්ම අභිමානය පලුදු වන බව සිතන ඔවුන්, සත්‍යයට වඩා බොරුවත්, වංචනිකයාවත් ආරක්ෂා කිරීමට පෙළඹෙයි. අද අල්ලස් කොමිසම අසලදී “මයින්ද මාත්තයා” වෙනුවෙන් බෙරිහන් දුන් පිරිස තුළින් පෙනුනේ රටේ අනාගතය අඳුරු කළ දූෂිත පාලනයකට උල්පන්දම් දෙන මෙම අවාසනාවන්ත මානසික අගාධයයි.

මෙම විමර්ශනයට පාදක වූ එයාර් බස් ගනුදෙනුවේදී, අල්ලස් වශයෙන් ලැබුණු මුදලින් රුපියල් මිලියන 60ක් මහින්ද රාජපක්ෂට ලබා දුන් බව කපිල චන්ද්‍රසේන මීට පෙර පාපොච්චාරණය කර තිබුණි. එහෙත් පසුව ඔහු එය බලහත්කාරයෙන් ලබාගත් ප්‍රකාශයක් බව කියා සිටීමත්, ඇප ලබාගැනීමට නාඳුනන පුද්ගලයන් ඉදිරිපත් කිරීමත් සහ අවසානයේ ඔහුගේ මළ සිරුර අබිරහස් ලෙස හමුවීමත් තුළ මෙම නඩුව තිරස්චීන මඩගොහොරුවක් බවට පත්ව තිබේ.

අවසානයේ ප්‍රශ්නය වන්නේ, මෙතරම් පටලැවිලි සහ සැක සංකා මැද වුව ද, රටේ සම්පත් ගිල දැමූවුන් වෙනුවෙන් පාරට බසින පිරිස සැබවින්ම පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්ද යන්නයි. එය ප්‍රකට “බත් පැකට් එකට සහ ගල් කාලට” (Patronage Politics) සීමා වූ ගනුදෙනුවක්ද? නැතිනම් තමන්ව මංකොල්ලකන දඩයක්කාරයාටම පෙම් බඳින රෝගී මානසිකත්වයක්ද…?

සටහන | LankaRedNews