ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන ප්‍රගතියක් සනිටුහන් කරමින්, මැයි මාසයේ මුල් දින 10 තුළ පමණක් සංචාරකයින් 46,606 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ බව තහවුරු වේ.
මෙම කාලසීමාව තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 18,533ක් වන අතර එය සමස්ත පැමිණීම්වලින් 40%ක් තරම් ඉහළ අගයකි. ඉන්දියාවට අමතරව චීනයෙන් 3,472ක්, එක්සත් රාජධානියෙන් 2,517ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 2,441ක් වශයෙන් සංචාරකයින් මෙම දින දහය තුළ දිවයිනට පැමිණ ඇත.
2026 වසරේ ජනවාරි 01 වනදා සිට මැයි 10 වනදා දක්වා වූ සමස්ත සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී ද සංචාරක ක්ෂේත්‍රය ප්‍රබල ඉදිරි ගමනක නිරතව සිටින බව පැහැදිලි වෙයි. ඒ අනුව වසරේ මේ දක්වා පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 922,883ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වසරේ මුල් මාස හතර හමාරක කාලය තුළ ඉන්දියාවෙන් 208,451ක්, එක්සත් රාජධානියෙන් 91,362ක් සහ රුසියාවෙන් 74,628ක් වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති අතර, එය මෙරට ආර්ථිකයට ප්‍රබල විදේශ විනිමය දායකත්වයක් ලබා දීමට හේතු වී තිබේ.