පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් බරපතළ හානියට පත් වූ ලෝක උරුම ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු, ‘වාරි මහිමය – අපේ උරුමය’ ජාතික වැඩසටහන යටතේ නිල වශයෙන් ආරම්භ විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
අමුණේ පළමු අදියරේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් කෝටි 30ක (මිලියන 300ක) ඇස්තමේන්තුගත මුදලක් වෙන් කර තිබේ. මෙම අවස්ථාවට අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි සහ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් යන පිරිස ද එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ලාල්කාන්ත අවධාරණය කළේ, රජයට එරෙහි විවිධ බලවේග රට පුරා අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටිය ද, යල කන්නය සඳහා අවශ්‍ය සියලුම පොහොර තොග මේ වන විටත් මෙරට පවතින බවයි. ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා එම පොහොර තොග ක්‍රමවත්ව බෙදා හැරීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් ගොවි ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.