මෙරට ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සෑම ක්ෂේත්‍රයක්ම ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කළේ වැවිලි සමාගම්වල සේවකයන් සඳහා ලාභාංශ කොටස් (Dividends) ලබා දීම වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයකට එක්වෙමිනි.

මෙහිදී දිවයින පුරා පිහිටි වැවිලි සමාගම්වල සේවකයින් සඳහා, එම සමාගම් ඉපැයූ ලාභයෙන් කොටසක් ප්‍රදානය කිරීම සංකේතාත්මකව සිදු කෙරිණි. රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව මෙහෙයවන වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රගතිය මෙමගින් මනාව පිළිබිඹු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වසර ගණනාවක් තිස්සේ පාඩු ලබමින් පැවැති විවිධ ආයතන සහ ක්ෂේත්‍ර, විධිමත් කළමනාකරණය සහ දූෂණයෙන් තොර පාලනයක් හරහා මෙලෙස ධනාත්මක මාවතකට යොමු කිරීමට හැකි වී ඇති බව ද සමන්ත විද්‍යාරත්න වැඩිදුරටත් කියා සිටියේය. මෙම ලාභයේ ප්‍රතිලාභ සෘජුවම සේවකයන් වෙත ලබා දීම හරහා ඔවුන්ගේ වෘත්තීය ගෞරවය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය කැපවී සිටින බව ද මෙහිදී අවධාරණය විය.