මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අපවිත්‍ර වන මෙරට වෙරළ තීරයන් පිරිසිදු කරමින් වෙරළ ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතිය රැකගැනීම සඳහා පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසය විශේෂ පියවර ගනිමින් සිටියි. එහි තවත් අදියරක් ලෙස, මට්ටක්කුලිය ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය 09 වැනිදා උදෑසන ක්‍රියාවට නැංවිණි.
මෙම වැඩසටහන බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති අතිරේක ලේකම් එස්.ජී.සී. සුගීෂ්වර සහ ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආර්.ඒ.ආර්.එන්. රාජපක්ෂ යන අයගේ ප්‍රධානත්වයෙන් සංවිධානය විය. වෙරළ තීරය සුරැකීම වෙනුවෙන් කැපවී සිටින ‘Clean Ocean Force’ (ක්ලීන් ඕෂන් ෆෝස්) ලාභ නොලබන සංවිධානය ඇතුළු පෞද්ගලික ආයතන රැසක අනුග්‍රහය සහ උපකරණ දායකත්වය ද මෙම මෙහෙයුමට හිමි විය.
පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.කේ. මනෝජ් පෙරේරා, කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මෙන්ම ජාත්‍යන්තර පොලිස් සංගමයේ (IPA) ශ්‍රී ලංකා ශාඛාවේ මහ ලේකම් කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනේත්‍රා සෙනවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. ජාත්‍යන්තර පොලිස් සංගමයේ ‘Green IPA’ ව්‍යාපෘතියේ සහයෝගය ද මෙම පාරිසරික සත්කාරය සඳහා හිමිවීම විශේෂත්වයකි.