රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් පසුගිය මැයි 05 සිට 08 දක්වා මෙරට නිල සංචාරයක නිරත විය. කරච්චි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව (DoC) මෙම සංචාරය සම්බන්ධීකරණය කර තිබුණි.
1959 දී ස්ථාපිත කරන ලද KCCI ආයතනය පකිස්ථානයේ සාමාජිකයින් 50,000කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ප්‍රමුඛතම වාණිජ මණ්ඩලයකි. එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මුහම්මද් රාසා (Muhammad Raza) ගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිස, මැයි 08 වැනි දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කළේ, පකිස්ථාන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA) මීට වඩා ඵලදායී ලෙස භාවිත කරමින් දෙරට අතර ගනුදෙනු ඉහළ නැංවිය යුතු බවයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අන්නාසි, තැඹිලි සහ අලිගැටපේර පකිස්ථාන වෙළෙඳපොළ වෙත අපනයනය කිරීමේදී පවතින බාධාවන් කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. පකිස්ථාන දූත පිරිස ද මෙම දේශීය නිෂ්පාදන ආනයනය කිරීමට සිය දැඩි කැමැත්ත පළ කළහ.
මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන් වන ජගත් අබේවර්ණ සහ චරිත යට්ටෝගොඩ ද සහභාගී වූහ. සිය සංචාරය අතරතුර මෙරට නිෂ්පාදන ආයතන කිහිපයක් සමඟ ද සාකච්ඡා පැවැත්වූ කරච්චි වාණිජ මණ්ඩල නියෝජිතයෝ, දෙරටේ පෞද්ගලික අංශය ඒකාබද්ධ කරමින් දිගුකාලීන වාණිජ හවුල්කාරිත්වයන් ගොඩනැගීමට කැපවන බව සහතික වූහ.