ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ, පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හෙට (11) වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
මෙය පෙර මෝසම් තත්ත්වයක් වන අතර, මැයි මස 20 වන දින වන විට නිරිතදිග මෝසම මෙරට තුළ පූර්ණ වශයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ සමඟම පවතින කාලගුණික විපර්යාස තවදුරටත් තීව්‍ර විය හැකි බව ද ඔහු අවධාරණය කළේය.
නායයෑම් අවදානම සහ පූර්ව අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මෙහිදී පෙන්වා දුන්නේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශවල පස සහ ගල් ලිහිල් වී පවතින බැවින් කුඩා වර්ෂාපතනයකදී පවා නායයෑම් සිදු විය හැකි බවයි. මේ වන විටත් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයටත්, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය යන ප්‍රදේශවලටත් පළමු අදියරේ (Level 1) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජලාශ සහ ගංගා මට්ටම් පිළිබඳ පරීක්ෂාව
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ ප්‍රධාන ඉංජිනේරු චාමර යාපාආරච්චි සඳහන් කළේ, මේ වන විට ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 5ක් වාන් දමමින් පවතින බවයි. කිරිඳිඔය, වලවේ, දැදුරුඔය, මල්වතු ඔය, කැලණි සහ කළු යන ගංගාවල ජල මට්ටම් මේ වන විට ඉහළ යමින් පවතින බැවින්, එම ගංගා දෙපස ජීවත් වන ජනතාව දැඩි අවධානයකින් පසුවිය යුතු බව ඔහු දැනුම් දුන්නේය.
ආපදා කළමනාකරණ සූදානම
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසා සිටියේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ආපදා සහන කණ්ඩායම් සම්බන්ධීකරණය කර ඇති බවයි. නායයෑම් ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ඔහු, යම් හදිසි අවස්ථාවක් ඇති වුවහොත් 117 ක්ෂණික දුරකථන අංකය හෝ අදාළ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සම්බන්ධ කර ගන්නා ලෙස අවධාරණය කළේය.