කොළඹ නගරයේ පිහිටි රජයේ ඇමැති බංගලා 24ක් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා උපයෝගී කර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, මෙම පරිශ්‍ර සිල්ලර වෙළෙඳාම, කැෆේ, ආපනශාලා, කුඩා හෝටල්, තානාපති කාර්යාල සහ කාර්යාල පරිශ්‍රයන් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන කලාප දෙකක් සහ තනි පර්ෂද දෙකක් හඳුනාගෙන ඇත. ස්ටැන්මෝ චන්ද්‍ර වංකය, මැකෙන්සි පාර, කැප්පෙටිපොළ මාවත සහ පැජට් පාර යන ප්‍රදේශවල පිහිටි බංගලා 12ක් බුටික් සූට්ස් (Boutique Suites), කැෆේ සහ ආපනශාලා සඳහා වෙන් කෙරේ. බෞද්ධාලෝක මාවතේ සහ ස්කෙල්ටන් පාරේ පිහිටි නිවාස කිහිපයක් ද තානාපති කාර්යාල හා හෝටල් සඳහා වෙන් කර ඇත. විජේරාම මාවත සහ කොබ්බෑකඩුව මාවතේ පිහිටි බංගලා 9ක් ද මෙලෙස ආර්ථික අරමුණු වෙනුවෙන් යොදා ගැනේ.
මෙම සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණ වන්නේ කෞතුකාගාර, විවේකී ස්ථාන, අවන්හල් සහ සේවා ස්ථාන එකිනෙක මුසු වූ, ඇවිද යා හැකි ‘සංස්කෘතික කලාපයක්’ (Cultural Loop) නිර්මාණය කිරීමයි. ආයෝජකයන් තෝරා ගැනීමේදී වඩාත් විනිවිදභාවයකින් කටයුතු කිරීම සඳහා යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කරන ලෙස මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
මෙම දේපළ වසර 30ක බදු පදනම මත රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව ලබා දීමට නියමිතය. කෙසේ වෙතත්, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බංගලා සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව කිසිදු ව්‍යුහාත්මක වෙනසක් කිරීමට ආයෝජකයන්ට අවසර හිමි නොවේ.
මීට අමතරව, ඇමැතිවරුන් වෙනුවෙන් මින් ඉදිරියට බංගලා වෙන් නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. ජනාධිපතිවරයා ද සිය මන්දිර පෞද්ගලික පරිහරණය සඳහා යොදා නොගැනීමට තීරණය කර ඇති අතර, දිවයින පුරා විසිරී ඇති ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමෙන් පසු ඒවායේ අනාගත භාවිතය පිළිබඳව ද ඉදිරියේදී නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.