ඉදිරි කාර්තුව සඳහා විදුලි ගාස්තු 18% කින් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (09) තීරණය කර ඇතත්, ඉන් රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 95% කටම කිසිදු බලපෑමක් සිදු නොවන බව එම කොමිසම නිල වශයෙන් නිවේදනය කරයි.

මෙම ගාස්තු වැඩිවීමෙන් මෙරට බහුතර ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 15 ක විශේෂ මූල්‍ය සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟ වී තිබේ. ඒ අනුව, අද ප්‍රකාශයට පත් කළ මෙම විදුලි ගාස්තු වැඩිවීම බලපවත්වනු ලබන්නේ සමස්ත පාරිභෝගිකයන්ගෙන් 5% ක පමණ සුළු පිරිසකට පමණක් බව කොමිෂන් සභාව සඳහන් කළේය.

රජය ලබාදෙන මෙම සහනාධාරය හේතුවෙන් ගෘහස්ථ සහ ආගමික ස්ථාන යන කාණ්ඩ යටතේ ඒකක 0 සිට 180 දක්වා පරිභෝජනය කරන සියලුම පාරිභෝගිකයන් (ඒකක 0-30, 31-60, 61-90, 91-120 සහ 121-180) සඳහා ගාස්තු වැඩිවීමක් සිදු නොවේ. ඔවුන්ට ඉදිරියටත් පැරණි ගාස්තු යටතේම විදුලි බිල්පත් ගෙවීමේ අවස්ථාව හිමිවනු ඇත.

18% ක ගාස්තු වැඩිවීම අදාළ වන්නේ මසකට ඒකක 180 ට වඩා වැඩි ඉහළ විදුලි පරිභෝජනයක් සහිත බිල්පත් සඳහා පමණක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද පැවැති මාධ්‍ය හමුවකදී තවදුරටත් පැහැදිලි කළේය. ජනතාවගේ ජීවන බර ලිහිල් කිරීම වෙනුවෙන් රජය ගත් මෙම තීරණය නිසා බහුතර පාරිභෝගික ජනතාවට සහනයක් සැලසෙනු ඇත.