විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ඇතුළු සියලු ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදීය.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යළි සමාජගත වීම වැළැක්වීම සඳහා ඒවා කඩිනමින් විනාශ කිරීමටත්, වරදකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී නියෝග කළේය. මෙම මෙහෙයුම් කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ආගමික නායකයන් ඇතුළු සියලු දෙනා ඒකාබද්ධ කරගනිමින් මෙම ජාතික මෙහෙයුම සාර්ථක කර ගත යුතු බව අවධාරණය කළේය.

“රටම එකට” මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු විෂ මත්ද්‍රව්‍ය වැටලීම් 80%කින් ඉහළ ගොස් ඇති බව මෙහිදී අනාවරණය විය. 2025 ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා ගංජා කිලෝ ග්‍රෑම් 5,437ක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 1,936ක්, අයිස් කිලෝ ග්‍රෑම් 1,991ක් සහ මත්පෙති ලක්ෂ 15කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුම්වලදී සැකකරුවන් 168,460ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා 2007 අංක 54 දරන පුනරුත්ථාපන (සංශෝධිත) පනත් කෙටුම්පත කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇත. පුනරුත්ථාපනයෙන් පසු ඔවුන්ට රැකියා පුහුණුව සහ ස්වයං රැකියා සහාය ලබා දීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වඩාත් පීඩාවට පත් පවුල් තෝරාගෙන ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය නඩු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම, රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම වේගවත් කිරීම සහ බන්ධනාගාර තදබදය මඟහරවා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක ජාවාරම් මැඬලීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කාර්යාංශය එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කෙරිණි.

ත්‍රෛනිකායික අනුනායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයන්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.