සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද තවත් අසත්‍ය ප්‍රකාශයක් සභාව තුළදීම “අතේ පත්තුවී” තිබේ. පූනරීන් ප්‍රදේශයේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ කරුණු සාවද්‍ය බව කුමාර ජයකොඩි මන්ත්‍රීවරයා විසින් සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී.

මරික්කාර් මන්ත්‍රීවරයා සභාව හමුවේ චෝදනා කළේ, ‘යුනයිටඩ් සෝලා’ (United Solar) නැමැති සමාගමකට පූනරීන් ප්‍රදේශයෙන් අක්කර 1200ක භූමියක් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා වෙන් කර දී ඇති බවයි. එම සමාගම සේවක අර්ථසාධක අරමුදල් (EPF/ETF) ගෙවා නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින බවත් පවසමින් ඔහු ලේඛන කිහිපයක් පෙන්වමින් සභාව නොමඟ යැවීමට උත්සාහ කළේය.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයට වහාම ප්‍රතිචාර දැක්වූ කුමාර ජයකොඩි මන්ත්‍රීවරයා, මරික්කාර් පවසන්නේ පදනම් විරහිත අසත්‍යයක් බව අවධාරණය කළේය. අදාළ සමාගමට ලබා දී තිබූ තාවකාලික අනුමැතිය (Provisional Approval) 2024 වසර වන විට කල් ඉකුත් වී ඇති බවත්, එය මේ වන විට සම්පූර්ණයෙන්ම අහෝසි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

“ඔබ කියන්නේ පට්ටපල් බොරුවක්. ඔය අතේ තියෙන ලියකියවිලි අරගෙන පුළුවන් නම් CID එකට ගිහින් පැමිණිලි කරන්න කියලා මම ඔබට අභියෝග කරනවා. නොකළ දෙයක් ගැන බොරු කියමින් සභාව නොමඟ යවන්න එපා,”

යැයි කුමාර ජයකොඩි මන්ත්‍රීවරයා එහිදී දැඩිව කියා සිටියේය.

මරික්කාර් මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර, මෙසේ දේශපාලන වාසි තකා කරුණු හරිහැටි සොයා නොබලා පාර්ලිමේන්තුව තුළ මෙවැනි “තඩි පච” ඇද බෑම මන්ත්‍රීවරයෙකුට නොතරම් ක්‍රියාවක් බව අපගේ මතයයි…

සටහන | සචිත් ලියනගේ – නිදහස් මාධ්‍යවේදී