රජයේ රෝහල්වල තාවකාලිකව ඇනහිට තිබූ පෙට් ස්කෑන් (PET Scan) පරීක්ෂණ සේවාව සඳහා රෝගීන් ලියාපදිංචි කිරීමේ කටයුතු යළි ආරම්භ කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කරයි.
පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය වන විකිරණශීලී රසායනික ද්‍රව්‍ය තොගය ඉදිරි දින කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිතය. මෙම රසායනිකය ආනයනය කරන සැපයුම්කරුගේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන්, පසුගිය මාර්තු 27 වැනිදා සිට කොළඹ ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ කටයුතු අඩාල වී තිබිණි.
පෙට් ස්කෑන් පරීක්ෂණය මගින් පිළිකා සෛල පවතින ස්ථානය, ඒවා පැතිරී ඇති ප්‍රමාණය සහ ප්‍රතිකාරවලින් අනතුරුව පිළිකා සෛල සාර්ථකව විනාශ වී ඇත්ද යන්න ඉතා නිවැරදිව හඳුනා ගත හැකිය. රෝගීන් සඳහා මෙම සේවාව යළි ආරම්භ කිරීම පිළිකා රෝගීන්ගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා විශාල පහසුවක් වනු ඇත.