ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයට නවීන මුහුණුවරක් එක් කරමින් ආරම්භ කරන ලද ‘ලංකා මෙට්‍රො බස්’ සේවාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ පියවරක් ලෙස, එහි ප්‍රථම බස් ඩිපෝව ඉදිකිරීමේ කටයුතු අද (04) නිල වශයෙන් ආරම්භ විය.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් මහර, කඩවත ප්‍රදේශයේදී මෙම වැඩ ඇරඹුම සිදු විය. ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවා සමාගමක් වන ‘ට්‍රාන්සිට් පුද්ගලික සමාගම’ මගින් මෙහෙයවන මෙම මෙට්‍රො බස් සේවාව, දැනට බස් රථ 10ක් යොදා ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. එළඹෙන අගෝස්තු මස සිට මෙය තවදුරටත් පුළුල් කරමින් ප්‍රධාන මාර්ග 6ක බස් රථ 122ක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇත.
රුපියල් මිලියන 102ක මූල්‍ය පිරිවැයකින් ඉදිවන කඩවත මෙට්‍රො ඩිපෝවේ කටයුතු 2026 ජූලි 30 වන දිනට පෙර නිම කිරීමට නියමිතය. මෙයට සමගාමීව බස්නාහිර පළාතේ ප්‍රවාහන ජාලය ශක්තිමත් කිරීම සඳහා ඒකල, රත්මලාන සහ තලංගම යන ප්‍රදේශවල ද නව මෙට්‍රො ඩිපෝ පරිශ්‍ර ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන අවධාරණය කළේ, ලංකා ගමනාගමන මණ්ඩලය දේශපාලන බලපෑම්වලින් තොර, විනිවිදභාවයෙන් යුතු සහ කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි. දූෂණ හා අක්‍රමිකතා අවම කරමින්, නව කළමනාකාරීත්වයක් යටතේ පොදු ප්‍රවාහන සේවාවේ ව්‍යුහාත්මක වෙනසක් සිදු කරන බව ද ඔහු පැවසීය.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රගීත් මධුරංග, හේමමාලී වීරසේකර, මෙට්‍රො ට්‍රාන්සිට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු බී.එම්. පියතිලක, කඩවත ඩිපෝ අධිකාරී අරවින්ද නිමල් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.