ශ්‍රී ලංකා මහ බැංකුවේ විද්‍යුත් තැපැල් පද්ධතියට අනවසරයෙන් පිවිස රජයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය ඊයේ (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පොදු දේපළ පනත, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යන නීතිමය ප්‍රතිපාදන යටතේ විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වෙත දැනුම් දුන්නේය.
වංචාවට සම්බන්ධ බවට සැකකෙරෙන මූල්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පස් දෙනෙකුගේ විදේශ ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මීට අමතරව, අදාළ නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටත්, තාක්ෂණික සාක්ෂි විශ්ලේෂණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ආයතනයේ (CERT) ප්‍රධානියා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පීඨාධිපතිවරයාගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමටත් අධිකරණය අවසර ලබා දුන්නේය.
සිද්ධියේ පවතින සංවේදී බව සැලකිල්ලට ගනිමින් නඩු ගොනුව අධිකරණයේ විශේෂ ආරක්ෂිත සේප්පුවක තැන්පත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සිද්ධියේ වගකිවයුත්තන් කඩිනමින් හඳුනාගෙන අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අධිකරණය, මින් ඉදිරියට මෙවැනි අනවසර පිවිසුම් වළක්වා ගැනීමට අවශ්‍ය කෙටි කාලීන ආරක්ෂණ පියවරයන් වහාම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් ලබා දුන්නේය.