විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී භික්ෂූන් වහන්සේලා පිරිසක් අත්අඩංගුවට පත්වීමෙන් පසුව මතු වී ඇති තත්ත්වය සහ ඊට අදාළ විමර්ශන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුවක් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මෙම සිදුවීමත් සමඟ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරට ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරය මනාව තහවුරු වන බවයි. එබැවින් මත්ද්‍රව්‍යවලට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළට සියලු දෙනා ශක්තිමත්ව එක්විය යුතු බව ඔහු අවධාරණය කළේය. රට ආර්ථික සහ සමාජයීය වශයෙන් නව පරිවර්තනයක් කරා ගෙන යාමේදී සම්බුද්ධ ශාසනය සහ ඒ වටා ගොඩනැඟී ඇති හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට රජය ප්‍රමුඛතාව ලබා දෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.

සමස්ත සමාජයම කම්පනයට පත් කළ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙහිදී මහා සංඝරත්නය වෙත කරුණු පැහැදිලි කරන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් මහා නාහිමිවරුන් විසින් මේ වන විටත් නිවේදනයක් නිකුත් කර ඇති අතර, එය සමස්ත සංඝ සමාජයේම ස්ථාවරය ලෙස සලකා කටයුතු කරන ලෙස මහා සංඝරත්නය මෙහිදී රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියහ. වත්මන් සමාජ ප්‍රවණතා හමුවේ සංඝ සමාජය ආරක්ෂා කර ගැනීම භික්ෂූන් වහන්සේට පමණක් තනිව සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා රජයේ මැදිහත්වීම සහ සහාය අත්‍යවශ්‍ය බවත් උන්වහන්සේලා පෙන්වා දුන්හ.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර මෙන්ම, විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම සහ නෛතික ප්‍රතිපාදනවල සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව ද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

මෙම අවස්ථාවට මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද, ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පහමුනේ ශ්‍රී සුමංගල ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

රජය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන ආනන්ද විජේපාල, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්න, නීතිපති පාරින්ද රණසිංහ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මීට එක්ව සිටියහ.