සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාවය (IT Literacy) ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ පරිගණක පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් සිය දෙනෙකු (100) සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම අද (23) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන එක්ව සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුගත වෙමින් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම අදියරෙන් අදියර පූර්ණ ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි. ඊට සමගාමීව සෞඛ්‍ය වෘත්තිකයින් සඳහා මෙලෙස පරිගණක සාක්ෂරතාව ලබා දීම අතිශය කාලෝචිත සහ අත්‍යවශ්‍ය පියවරක් බව ඔහු අවධාරණය කළේය.

“සෞඛ්‍ය වෘත්තිකයින් පරිගණක තාක්ෂණයෙන් සවිබල ගැන්වීම හරහා මෙරට ජනතාවට වඩාත් විධිමත් මෙන්ම කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට හැකියාව ලැබෙනවා. ඉදිරියේදී සියලුම සෞඛ්‍ය වෘත්තිකයින් වෙත ඔවුන්ගේ රාජකාරියට අදාළ පරිගණක දැනුම ලබා දීමට අමාත්‍යාංශය කටයුතු කරනවා,” යනුවෙන් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේය.