ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් (Wiebe de Boer) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර විශේෂ සුහද හමුවක් ඊයේ (23) පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ නෙදර්ලන්ත තානාපතිවරයා, ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් අනතුරුව වුවද, නිදහස් හා සාධාරණ මැතිවරණ තුනක් සාර්ථකව පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් සිය විශේෂ ඇගයීම පළ කළේය.
දෙරට අතර පවතින ඓතිහාසික සබඳතාව සිහිපත් කළ තානාපතිවරයා, ලන්දේසි යටත්විජිත සමයේදී ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය පුරාවස්තු යළි ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතින කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය. එම ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා විශේෂඥයින්ගෙන් ලැබෙන දායකත්වය ද ඔහු මෙහිදී අගය කළේය.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, යටිතල පහසුකම් වර්ධනය, වංචා හා දූෂණ මැඩපැවැත්වීමේ ප්‍රගතිය මෙන්ම මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව ද දෙපාර්ශ්වය අතර පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික භූගෝලීය පිහිටීම හේතුවෙන් අනාගතයේදී අත්කර ගත හැකි ආර්ථිකමය වාසි සහ ඒ ඔස්සේ ආර්ථිකය නගාසිටුවීම පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු කරගෙන තිබේ.