වත්මන් ජාතික ජන බලවේග රජය යටතේ ශ්‍රී ලංකාව දේශීය මෙන්ම විදේශීය ආර්ථික බලපෑම් හමුවේ විශිෂ්ට ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනගාගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිල වශයෙන් තහවුරු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසෑක් ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළාය.

2022 වසරේ අප්‍රේල් මස ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, මෙරට පාලනය භාරගත් ජාතික ජන බලවේග රජය ඉතා සාර්ථක ලෙස ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බව ඇය පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටු ආපදාව සහ මැද පෙරදිග කලාපයේ මතුව ඇති දේශපාලන අර්බුද හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරැකීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය.

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ ණය සමාලෝචන කටයුතු සිදු කරමින් පවතින බව ද ජුලී කොසෑක් සඳහන් කළාය. එම කටයුතු සාර්ථකව නිම වීමෙන් අනතුරුව, ඩොලර් බිලියන 2.9 ක මුළු ණය මුදලට අදාළ 05 වැනි සහ 06 වැනි වාරික අනුමත කිරීමට නියමිතය. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව නැවත ආර්ථික පුනර්ජීවනය කරා මෙහෙයවීමට අවශ්‍ය උපරිම සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරන්තරයෙන් කැපවී සිටින බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.