වසරක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 735 කට අධික මුදලක් උපයා ගත් ආකාරය පිළිබඳව සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු විභාගය ආරම්භ කිරීමට තීරණය වී තිබේ. ඒ අනුව, මුදල් විශුද්ධිකරණය සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන කුමන්ත්‍රණය කිරීමේ වරද යන චෝදනා මත පදනම්ව මැයි මස 22 වන දින සිට මෙම නඩු විභාගය පැවැත්වීමට අධිකරණය දින නියම කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ දැඩි කම්පනයකින් සහ නොසන්සුන් ස්වභාවයකින් පසුවූ බව අධිකරණ පරිශ්‍රයේ සිටි මාධ්‍ය වාර්තාකරුවෝ සඳහන් කළහ. විශේෂයෙන්ම මෙම තීරණාත්මක මොහොතේ ඔහුගේ සහෝදරයා වන නාමල් රාජපක්ෂ ඔහු සමඟ අධිකරණයට පැමිණ නොසිටීම ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ කරුණක් විය.
නඩු විභාගය ආරම්භ කිරීමට පෙර යෝෂිත රාජපක්ෂගේ නීතිඥයන් විසින් මූලික විරෝධතාවක් මතු කරන ලදී. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මෙම නඩුවට අදාළ කුමන්ත්‍රණ කිරීමේ චෝදනාව පුද්ගලයන් දෙදෙනෙකුට එල්ල වී තිබූ බවත්, ඉන් එක් අයෙකු වන ඩේසි ෆොරස්ට් සෞඛ්‍ය හේතු මත මුදා හැර ඇති පසුබිමක යෝෂිත රාජපක්ෂට එරෙහිව පමණක් එම චෝදනාව යටතේ නඩුව ඉදිරියට ගෙනයාම නීති විරෝධී බවත්ය.
කෙසේ වෙතත්, විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කළ එම තර්කය ප්‍රතික්ෂේප කළ මහාධිකරණය, චෝදනා පත්‍රය නිවැරදි බවත් නඩු විභාගය පවත්වාගෙන යාමට නෛතික බාධාවක් නොමැති බවත් ප්‍රකාශ කළේය. ඒ අනුව ඉදිරි මැයි මස 22 වැනිදා සිට සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිතය.