පසුගිය 2010 සහ 2015 කාලසීමාව තුළ කොළඹ කොටස් වෙළඳපොළේ සිදුව ඇති බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ ප්‍රශ්නගත ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පස් දෙනෙකුට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් කැඳවීම් සිදු කර තිබේ.
මෙලෙස විමර්ශන සඳහා කැඳවා ඇති පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, නිමල් පෙරේරා, රෙනෝ ද සිල්වා, අශෝක් පතිරගේ සහ තරංග තෝරදෙණිය යන ව්‍යාපාරිකයෝ වෙති. ඒ අනුව, අද (12) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එම කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.
මහින්ද රාජපක්ෂ පාලන සමයට අයත් 2010 – 2015 කාල වකවානුව තුළ කොටස් වෙළඳපොළේ කෘත්‍රිම ලෙස මිල තීරණය කිරීම (Market Manipulation) ඇතුළු විවිධ අක්‍රමිකතා සහ මහජන මුදල් අවභාවිත වූ බව කියන ගනුදෙනු පිළිබඳව මෙහිදී ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.
ඉදිරි දිනවලදී නිමල් පෙරේරා, රෙනෝ ද සිල්වා, අශෝක් පතිරගේ සහ තරංග තෝරදෙණිය යන අයට ද ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට මේ වන විටත් නිල වශයෙන් දැනුම් දී ඇත. වසර ගණනාවක් පුරා විවිධ බාධාවන් මැද යටපත් වී තිබූ මෙම පරීක්ෂණ වත්මන් රජය යටතේ යළි ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.