වසර ගණනාවකින් බඳවා ගැනීම් සිදු නොකිරීම හේතුවෙන් අඩපණව පැවති රාජ්‍ය සේවයට අලුතින් එක්ලක්ෂ විසිඑක්දහසක් (121,000) බඳවා ගැනීමට තීරණය කර ඒ සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ගුරුවරුන් 23,000ක් ඇතුළුව විශ්වවිද්‍යාල සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද මෙම නව බඳවා ගැනීම්වලට ඇතුළත් වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙවර බඳවා ගැනීම් සිදු කරනු ලබන්නේ නිශ්චිත කාර්යයක් සහ රැකියාවක් පවතින බවට තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් බව ද හෙතෙම අවධාරණය කළේය.

ඉදිරි අයවැය මඟින් රාජ්‍ය සේවයේ බොහෝ අත්‍යවශ්‍ය දීමනාවන් 100%කින් වැඩි කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, විශේෂඥ ඥානය සහ තාක්ෂණික නිපුණතාව ඇති අය රාජ්‍ය සේවයට එක්කර ගැනීමට නම් පැරණි වැටුප් තලවලින් බැහැර විය යුතු බව පෙන්වා දුන්නේය. පොදු රාජ්‍ය සේවයේ මූලික වැටුප් තල දැනටමත් වැඩි කර ඇති බවත්, ලබන ජනවාරි මාසයේදී ඊළඟ වැටුප් තලය හිමිවන බවත් ඔහු කියා සිටියේය.

එමෙන්ම මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන පෞද්ගලික අංශයේ ද මූලික වැටුප් වැඩි කළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහමාර දක්වා වැඩි කළ උපයන විට ගෙවීමේ බදු සීමාව ඉදිරි අයවැයේදී ද යම් ප්‍රමාණයකින් වැඩි කිරීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොළඹ, පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පෙරේදා (07) පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම කරුණු අනාවරණය කළේය.