වර්තමාන රජය සම්බුද්ධ ශාසනයට සහ මහා සංඝරත්නයට සිදුකරන බව කියන අකටයුතුකම් සම්බන්ධයෙන්, මහාවිහාර වාංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමියන් දැනුවත් කිරීමට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබේ.

වාද්දුව බෝධිරාජ විහාරස්ථානයේදී උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මෙහිදී වර්තමාන රජය මඟින් සම්බුද්ධ ශාසනයට සහ මහා සංඝරත්නයට සිදුකරනු ලබන බව කියන අකටයුතුකම් පිළිබඳව නාහිමියන්ගේ දැඩි අවධානයට යොමු කෙරිණි. ඊට අමතරව, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමට හා උන්වහන්සේගේ සිවුර ගැලවීම ඇතුළු පැවිදි බව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට විරෝධය පළකරමින්, උන්වහන්සේ නිදහස් කරගැනීමේ අරමුණින් ආරම්භ කළ පා ගමන පිළිබඳවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නාහිමියන්ගෙන් කරුණු විමසා තිබේ.

මෙම අවස්ථාවට විපක්ෂ නායකවරයා සමඟ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අජිත් පී පෙරේරා, ජගත් විතාන, එම පක්ෂයේ පානදුර ආසන සංවිධායක නයනක රංවැල්ල සහ සුදත් ජයසුන්දර එක්ව සිටියහ.