අධිකරණයට අපහාස කිරීම සහ ආගමික වෛරී ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවලට වැරදිකරු වී සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීම උදෙසා මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ විය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුව 2016 වසරේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති අවස්ථාවේදී අධිකරණය තුළ කලහකාරී ලෙස හැසිරීම සහ සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම විය. 2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ජනාධිපති සමාව අභියෝගයට ලක්වීමෙන් පසු, එහි ඉතිරි කාලය වහාම ක්‍රියාත්මක කරන ලෙස 2026 ඔක්තෝබර් මාසයේදී අභියාචනාධිකරණය නියෝග කළ අතර, ඒ අනුව උන්වහන්සේව කළුතර ආරණ්‍ය සේනාසනයකදී අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරගත කෙරිණි. මීට අමතරව ඉස්ලාම් දහමට සහ මුස්ලිම් ප්‍රජාවට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් නියම වූ මාස 9ක සිරදඬුවම 2026 ඔක්තෝබර් 7 වනදා කොළඹ මහාධිකරණය මඟින් ස්ථිර කළ අතර, තවත් වෛරී ප්‍රකාශයක් වෙනුවෙන් වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද උන්වහන්සේට නියම වී තිබේ.
මහනුවර මඟුල් මඩුවේදී විශේෂ ආශිර්වාද සත්‍ය ක්‍රියාවක් පවත්වා, වාරියපොළ සුමංගල හිමියන්ගේ ප්‍රතිමාව අභියසින් කොළඹ බලා ආරම්භ වූ මෙම පාගමන මෙහෙයවූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, ඥානසාර හිමියන් සිරගතව සිටින්නේ ජාතිය සහ ශාසනය වෙනුවෙන් බවත්, උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීම අසාධාරණ බවත්ය. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ඇතුළු පාර්ශ්ව ද පෙන්වා දෙන්නේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතියෙන් නොව විනය පිටකයට අනුව සිදු විය යුතු බවයි.
කෙසේ වෙතත්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සෙනක පල්ලේතැන්න සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පෙන්වා දී ඇත්තේ, වසර 3කට වඩා වැඩි බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ ඕනෑම අයෙකුට බන්ධනාගාර ඇඳුම ඇන්දවීම බන්ධනාගාර පනත අනුව අනිවාර්ය බවයි. මේ වන විටත් විවිධ වැරදි සම්බන්ධයෙන් භික්ෂූන් 60කට අධික පිරිසක් සිරදඬුවම් විඳින බවත්, නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වන බැවින් කිසිදු විශේෂ සැලකීමක් සිදු නොකරන බවත් රජය අවධාරණය කරයි. එසේ තිබියදී, නීතියට ඉහළින් සිවුර තබන ලෙස බලකරමින් සහ උන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා මෙම පාගමන ඥානසාර හිමියන් රඳවා සිටින ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතය.